Monday, July 18, 2011

බ්ලොග් අඩවියකට නැතිවම බැරි දේවල් - මට හිතෙන විදියට

අපි බ්ලොග් ලියන්නේ විවිධාකාර අරමුණු ඉෂ්ඨ කරගැනීම සඳහා. සමහරු ලියන්නේ තමන්ගේ අත්දැකීම් බෙදාගන්න. තව සමහරු ලියන්නේ තමන් පොරක් බව පෙන්නන්න. තවත් අය වෙන කරන්න දෙයක් නැති නිසා බ්ලොග් ලියනවා. ලියන්නාගේ අරමුණ අනුව ඔහුගේ හෝ ඇයගේ රචනා විලාශය සහ ලිපි අන්තර්ගතය වෙනස් වෙන බැවින් ඒ පිලිබඳ මා අදහසක් දක්වන්නේ නැහැ. භාෂාව සහ අන්තර්ගතය කෙසේ වුවත් බ්ලොග් අඩවියකට අනිවාර්යෙන් තිබිය යුතු අංග පහක් ගැනයි අද කතාකරන්න සුදානම. හැබැයි මේ මට හිතෙන විදිය. ඔබට හිතෙන විදිය වෙනස් වෙන්න පුළුවන්.


අංක එක : අනිත් අය එක්ක බෙදාහදා ගන්න පහසුකම් තිබිය යුතුයි.
ඕනෑම කෙනෙක් බ්ලොග් අඩවියක් පටන් ගන්නවා නම් ඔහු හෝ ඇය අනිවාර්යෙන් තමන්ගේ සිතුවිලි, නිර්මාණ අනෙක් අය සමඟ බෙදාහදා ගන්න කැමති කෙනෙක්. (නැත්තම් පාඩුවේ පුද්ගලික දිනපොතක ලිපි ලිය ලිය ඉන්න පුළුවන් නේ.) ඉතින් කවුරු හරි තමන්ගේ නිර්මාණය කියවලා ඒක අනිත් අයත් එක්ක බෙදාගන්න ඕනේ කියලා තීරණය කලොත් අපි එයාට උදව් කරන්න අවශ්‍යයි කියලා තමා මට නම් හිතෙන්නේ. හේතුව තමා ඔහු අපිට ස්වේච්චාවෙන් සේවය කරන කෙනෙක්. අනික ලින්ක් එකක් කොපි කරලා තව සයිට් එකකට ගිහිල්ලා ඒක පේස්ට් කරලා ෂෙයාර් බොත්තම ඔබන්නත් සමහරු කම්මැලියි. ඒක නිසා අපි ලියු ලිපිය කොච්චර වැදගත් වුනත් හැංගිලා යන්න පුළුවන්. ලියපු දේ වෙනත් තැන් වල බෙදාහදා ගන්න පහසු විදියක් ලිපිය කියවන්නාට ලබා දීම මට හිතෙන විදියට වැදගත් වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. 



අංක දෙක : වෙනත් බ්ලොග් වලට ලින්ක් හෙවත් බ්ලොග් රෝල් 
මේක වැදගත් වෙනවා ලියන සහ කියවන කියන දෙපාර්ශවයටම. කියවන කෙනාට වැදගත් වෙන්නේ එක බ්ලොග් එකකට ආවොත් ඒ සමාන අදහස් තියන තවත් බ්ලොග් අදුනා ගන්න ලැබීම. ඒ වගේම කියවන්නා බ්ලොග් ලෝකයේ දිගටම රඳවා තබා ගැනීමටත් මේ ලින්ක් වලින් කරන්න පුළුවන්. නිකමට හිතන්න එක බ්ලොග් එකකට ආවම එකේ දාලා තියන ලින්ක් නිසා පැය ගානක් බ්ලොග් කියවමින් සිටි දවස් කීයක්‌ මේ වෙනකොට ඔබ ගෙවලා ඇත්ද?

දැන් ලියන්නාට මේක නිසා වෙන වාසිය මොකක්ද? ඔව් බ්ලොගේට එන සෙනග වැඩිවෙනවා. මේ ක්‍රමේට මම හරිම ආසයි. මම දැනට එක බ්ලොග් අඩවියකටවත් කියලා නැහැ මගේ බ්ලොග් එකට ලින්ක් එකක් දෙන්න කියලා.එත් ගොඩක් අය එහෙම කරලා. ඒ කරලා තියෙන්නේ මම ලියන ඒවාට ආසා නිසා කියලා හිතෙනකොට සිතට සියුම් සතුටක් දැනෙනවා. තව තව ලියන්න හිතෙනවා. කොහේදෝ තැනක මම කියවලා තියනවා බ්ලොග් සමාජ රඳා පවතින්නේ මේ බ්ලොග් ලින්ක් සහ කමෙන්ට් මත කියලා. මොකද ඔයාලට හිතෙන්නේ?

අංක තුන : කැමති ලිපිය ලේසියට පහසුවට කියවන්න හැකියාව
තේරෙන භාෂාවෙන් කියනවා නම්  දින අනුව ලිපි ගබඩා කරලා තියන archive එකක්, ලේබල් වගේ දෙයක්. මෙහෙම හිතමු. ඔන්න කවදා හරි කාටහරි හම්බෙනවා ලස්සනම ලස්සන බ්ලොග් ලිපියක්. එක ලිපියක් කියෙව්වම හිතෙනවා අනිත් ලිපිත් කියවන්න. එත් අනිත් ලිපි හොයාගන්න බැහැ. පරණ ලිපි සහ අලුත් ලිපි කියන ලින්ක් දෙකෙන් විතරයි වෙන ලිපියකට යන්න පුළුවන්. එහෙම නැත්තම් බ්ලොග් අඩවියේ මුල් පිටුවට ගිහින් අමාරුවෙන් හොයාගන්න ඕනේ කලින් ලියපු ලිපි ලැයිස්තුව.  ලිපියක් කියවන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා අපි (මම) කරන්නේ ඒ බ්ලොගෙන් අයින් වීම. 

මේකටම අයිති වෙනවා ඊ මේල් සහ රීඩර් ආධාරයෙන් බ්ලොග් කියවන අයට සහය දැක්වීමත්. Google Feedburner  ආධාරයෙන් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. 

අංක හතර : පිළිතුරු ලබා දිය හැකි ප්‍රතිචාර
තේරෙන භාෂාවෙන් කියනවා නම් threaded/nested comments. බ්ලොග් සහ වෙබ් අඩවි වල තියන එක වෙනසක් තමා බ්ලොග් වල අපිට ප්‍රතිචාර දක්වන්න පහසුකම් තිබීම. මට හිතෙන විදියට නම් මේ පහසුකම නියම විදියට ප්‍රයෝජනයට ගන්න නම් පිළිතුරු ලබා දීමට හැකි ප්‍රතිචාර සිස්ටම් එකක් තියෙන්න ඕනේ. එතකොට හරිම ලේසියි ලිපියකට පස්සේ ඒ ගැන අහන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. ඒ වගේම ලිපිය පිළිබඳව හොඳ සංවාදයක් ප්‍රතිචාර හරහා ගොඩනැගීමටත් මේ ආකාරයේ ප්‍රතිචාර උදව් වෙනවා. [මම දාලා තියෙන්නේ disqus]

අංක පහ  : සරල නිමාවක් 
ඒ කියන්නේ ඇසට, මොළයට සහ පරිගණකයට පහසුවෙන් කියවන්න පුළුවන් ආකාරයට බ්ලොග් අඩවිය සැකසීම, මේක නම් තම තමන්ගේ කැමැත්ත අනුව වෙනස් වෙන්න පුළුවන්. මගේ මතය අනුව ඇසට පහසු වෙන්න ඕනේ කිව්වේ ඇසට සනීපයක් දැනෙන පාට සහ අකුරු භාවිතා කිරීම. මොළයට පහසු වෙන්න ඕනේ කිව්වේ බ්ලොග් අඩවියට පැමිණි කෙනෙක්ගේ මොළය රිදෙනකන් නිවී නිවී පත්තු වෙන එළි සහ එහෙ මෙහේ දුවන එක එක ජාති බ්ලොග් අඩවියට එක් කිරීමෙන් වැළකීම. පරිගණකයට පහසු වෙන්න ඕනේ කියන්නේ ලේසියෙන් ඉක්මනට ලෝඩ් වීමේ හැකියාව.

ඔන්න ඕවා තමා මට හිතෙන විදියට නැතිවම බැරි දේවල්.  කට්ටිය මොකද හිතන්නේ? 

ලිපිය ලියන්න හිතුනේ කෝච්චි අයියා සහ දේවාගේ අඩවිය සමඟ කළ සංවාදයක්. ස්තුතියි ඔබ දෙපලටම.