Thursday, June 2, 2011

රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - ප්‍රථම අදියර : ජීව දත්ත සටහන





විශ්ව විද්‍යාලයේ අවසන් වසර නිසා මේ දවස් වල මගේ යාලුවෝ වගේම මාත් රැකියා ගැන නිතරම හොයනවා. මේ අතර තුර AIESEC සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුන නිසා පිට රටක රැකියා පුහුණුවක් ලැබීම පිළිබඳ අදහසකුත් හිතේ වැඩ කළා. ඔය හේතු දෙක නිසා, රැකියා වලට ඉල්ලුම්පත්‍ර දැමීම සහ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීම පිලිබඳ මේ
වෙනකොට ජීවිතේට අලුත් අත් දැකීම් ගොඩක් එකතු වෙලා.
 ඒ වගේම AIESEC සාමාජිකයින් සඳහා සහ පිට රට රැකියා පුහුණු සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලීය සිසුන් තෝරාගැනීමට සිදු කල සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාවීමට ලැබුණු නිසා සම්මුඛ පරීක්ෂණයකදී අයදුම්කරුවන් විසින් සිදු කරන වැරදි සහ ඒවා නිවැරදි කරගත යුතු ආකාරය ගැනත් යම් දැනුමක් ලැබුනා. එසේම අධ්‍යාපන ආයතනයක  රැකියාවක් කිරීමට ලැබුණු නිසා රැකියාවක් කිරීම පිළිබඳවත් දළ අදහසක් මා සතුයි. රැකියාවක් එක්ක සම්බන්ධ වෙන පැති තුන එක්කම පොඩි පොඩි අත්දැකීම් තියන නිසා ඒවා එකතු කරලා හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදියේ ලිපි මාලාවක් ලියන්න හිතුනා.


ඒවගේම මුලින්ම කියන්න ඕනේ මගේ අත්දැකීම් වලට වඩා වෙනස් අත්දැකීම් ඔබට තියෙන්නට පුළුවන්. එසේම ඔබ මට වඩා මේ දේවල් ගැන අත්දැකීම් සහිත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මම වැරදි නම් කියන්න. අපි එකතු වෙලා වැරදි හදාගෙන ඉදිරියට යමු.

තට්ටු කරන්නාට දොර ඇරේ කියන්නා වාගේ,රස්සාවක් කියන්නෙත් තට්ටු කරලා  පටන් ගන්න දෙයක්. මුලින්ම හොයාගන්න ඕනේ තට්ටු කරන්න හොඳ දොරක්.

ඉතින් කොහෙන්ද හොයන්නේ? අන්තර්ජාලේ, පත්තර, යාලුවෝ, ඒවගේම දැන් සමාජ ජාල හරහාත් රැකියා ඇබෑර්තු හොයාගන්න පුළුවන්. සමහර වෙලාවට දාහක් හමාරක් වෙන දැන්වීම් අතරේ බොරු දැන්වීම්, එහෙම නැත්තම් හොර කොම්පැනි වලින් දාන ඒවා තියෙන්න පුළුවන්. සමහර දැන්වීම් තියනවා හිතාගන්න බැරි තරම් ලොකු පඩියක් දෙනවා කියලා දැන්වීම් වල දාලා අන්තිමට ඒ ගානින් බාගයක් වත් පඩි දෙන්නේ නැති අය. හිතට හරියන රස්සාවක් ලැබුනාම ඊලගට කරන්න තියන දේ තමා රැකියා ස්ථානය ගැන හොයන එක. මම නම් මුලින්ම කරන්නේ ගුගල් සහය පැතීම. ට්වීට් එකක් දාලා බලන්න. ලෝකේ කොහේහරි ඉදලා උත්තරයක්‌ ලැබෙන්න පුළුවන්. ඊටපස්සේ අහලා බලන්න යාලුවන්ගෙන්.  මේකට හේතුව සමහර ආයතන තමන්ගේ නම අන්තර්ජාලයේ ප්‍රසිද්ද කර ගැනීමට හොර වැඩ කරන නිසා. උදාහරණයක් විදියට හැමෝම අහලා ඇති ඉන්ටනෙට් එකෙන් මුදල් උපයන වෙබ් අඩවි ගැන. සමහර වෙබ් අඩවි වල මුදල් සොයා ගැනීමට කරන්න තියෙන්නේ ආයතනයක හොඳ කියලා සමාජ ජාලයක කමෙන්ටුවක් දැමීම. එහෙම නැත්තම් ආයතනයේ ෆේස් බුක් පිටුවට ලයික් එකක් දැමීම. ඒ වගේ වැඩ නිසා අන්තර්ජාලයෙන් ලබාගන්න තොරතුරු සියල්ලම ඇත්ත කියලා පිළිගන්න අමාරුයි. ඒක නිසා රැකියාවක් කරන්න කලින් ආයතනය ගැන හොයලා බලන්න.

හැබැයි මේකේ පැති දෙකක් තියනවා, ඔය විදියට ආයතන තෝරා බේරා ගන්න ගිහින් කවදාවත් රැකියාවකට අයදුම් කරන්නේ නැතිව ඉන්න අයත් ඉන්නවා. ඒක නිසා සීමාව තෝරා ගැනීම තමන් කල යුතු දෙයක්.

ඕනෑම රැකියාවක් සඳහා මීලගට වැදගත්  වෙන්නේ අපේ අයදුම් පත්‍රය. එහෙම නැත්තම් අපේ ජීව දත්ත සටහන. මෙතෙන්දි ගොඩාක් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. පලවෙනි නීතිය තමා හැම රස්සාවටම ඒකම CV ඒක නොයැවීම. ඒක ඒක රැකියාවලට ඉල්ලන්නේ විවිධාකාර සුදුසුකම්. තමන් ඉල්ලුම් කරනවා නම් ගුරු පත්වීමකට, ගුරු රස්සාව කරන්න තමන්ට තියන සුදුසුකම් සහ අත්දැකීම් කැපී පෙනෙන විදියට ජීව දත්ත සටහන වෙනස් කරන්න. ඒ වගේම තමා ජීව දත්ත සටහනේ ගුණාත්මක භාවය. හැමෝම ඉදිරිපත් කරන්නේ අපි උසස් පෙළ කරන කාලේ ඉංග්‍රීසි පොතේ තිබ්බ විදියේ ජීව දත්ත සටහනක් නම්, ඊට වඩා අමුතු විදියකට ඉදිරිපත් කරලා තියන ජීව දත්ත සටහනකට අනිවාර්යෙන් ආයතනයේ අවධානය යොමු වෙනවා. අමුතු විදියට ජීව දත්ත සටහනක් හදා ගන්න පොඩි ඉගියක්‌ ගන්න මෙතෙන්ට යන්න. ජීවදත්ත සටහනක් ගොඩක් දිග වුනොත් කියවන්න කම්මැලි හිතෙනවා. ඒක නිසා, තමන්ගේ තියන හොදම සුදුසුකම් ටික කියවන කෙනාට ආසා හිතෙන විදියට ලස්සනට ඉදිරිපත් කරන්න.

සමහරු පුරුදුවෙලා ඉන්නවා නිකන්ම නිකන් වර්ඩ් ෆයිල් එකක් යවන්න ජීව දත්ත සටහන විදියට.ඒ විදියට මට ලැබුන සමහර ජීව දත්ත සටහන් කියවන්න බැරි වුනා.ඒ හේතු ගොඩක් නිසා, සමහරු පාවිච්චි කරනවා අමුතු අමුතු ෆොන්ට්. ඒ ෆොන්ට් ඒක මගේ ළඟ නැත්තම් කියවන්න බැරි වෙනවා.තව සමහරු තමන්ගේ පින්තුරයක් දානවා වර්ඩ් වලින් එඩිට් කරලා. ඒක ඕපන් ඔෆිස් වලින් විවෘත කලොත් අර රූපේ කපපු කොටස් ඔක්කොම එක්ක පේනවා. වර්ඩ් වලින් යවන ජීව දත්ත සටහනකට මගේ තියන ප්‍රධානම අකමැත්ත තමා ඒක ඇරිය ගමන්ම කර්සරය පෙන ඒක. එතකොට හිතෙනවා මටත් මේක එඩිට් කරන්න පුළුවන් නේද කියලා. තවත් සමහරු සරල වෙන්න ඕනේ කියලා කිසි රහක් නැති CV එවනවා. ඒවාගේ තියෙන්නේ අයදුම් කරුවාගේ උසස් පෙළ ප්‍රතිපල, සාමාන්‍ය පෙළ ප්‍රතිපල, තව රටේ තියන හැම ඩිප්ලෝමාවක්ම කලා කියන විස්තර ටික බුලට් හරි ඉලක්කම් හරි දාලා ලියපු කළු සුදු ලිස්ට් එකක් විතරයි.

ඒ විස්තර අවශ්‍යයි අනිවාර්යෙන්ම. නමුත්, ඒවාට අමතරව රැකියා අයදුම් පත්‍රයක තිබිය යුතු තවත් දේවල් තියනවා. රැකියාව ලැබුනොත් සේවයට වාර්තා කරන්න පුළුවන් දවස අනිවාර්යෙන් සඳහන් කරන්න. එය සේවා දායකයාට ඔහුගේ වැඩ කටයුතු සැලසුම් කිරීමේදී ලොකු පහසුවක්. සමහරු ඇතුලත් කරනවා,තමන් විනෝදයට කරන වැඩ , ඒ වගේම තමන්ගේ තියන විශේෂ දක්ෂතා, මේ වෙනකොට තමන්ට ලැබිලා තියන සම්මාන, තමන් මේ රස්සාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන ඒක කෙටියෙන්, ඒ වගේම තමන් පිළිබඳව පොඩි හැදින්වීමක් ඒක වාක්‍යකින් වගේ ලියන්න පුළුවන්. පුද්ගලික ආයතනවල නම් විභාග ප්‍රථිපල වලට වඩා බලන්නේ අත්දැකීම්, දක්ෂතා වගේ දේවල්.

ඒ වගේ පොඩි පොඩි දේවල් නිසා අනිවාර්යෙන් ඔයාලගේ ජීව දත්ත සටහන රැකියා ලබා දෙන්නාගේ ඇසට යොමු වේවි.ඒ වගේම ඒ වගේ පොඩි පොඩි විස්තර පාවිච්චි කරලා තමන් පිළිබඳව රැකියා සපයන්නාගේ හිතේ බොහොම හොඳ රූපයක් මවන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි හිතමු එක ජීව දත්ත සටහනක තියනවා කියලා "I love to learn while working" කියන වැකිය. ඒ කියන්නේ අපි වැඩ කරන ගමන් ඉගෙන ගන්න කැමතියි කියන එක. ඒ වගේ දෙයක් තමන්ගේ ජීව දත්ත සටහනේ ලියන්න පුළුවන් කියන එකත් ලොකු ජයග්‍රහණයක්‌. එකෙන් අපි පණිවිඩයක් දෙනවා අපි ලැහැස්තියි කියලා ඕනෙම වැඩක් කට්ට කාගෙන කරන්න. එහෙම නැතිව තමන්ගේ විභාග ප්‍රතිපල ටික විතරක් දාලා අයදුම් පතක් යවනවා කියන්නේ "අනේ මෙන්න මගේ සුදුසුකම්. මේවා අනුව මට ගැලපෙන රස්සාවක් හොයලා දෙන්න " කියලා කාට හරි කියනවා වගේ වැඩක්. පටන් ගන්නකොටම දෙකට නැමිලා ඉන්නවා කියන්නේ අද කාලේ ගොඩක් රැකියා සපයන්නන්, විශේෂයෙන් පවුද්ගලික ආයතන අකැමති දෙයක්. රැකියාවට ගියාම කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් කියන එක පෙන්නන්න අපිට ලැබෙන පළවෙනි  අවස්ථාව  අපි යවන අයදුම් පත. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. පළවෙනි අවස්ථාවන් දෙකක් අපිට කොයිම දෙයකදී වත් ලැබෙන්න නැහැ.

ජීව දත්ත සටහනේ ආකෘතිය පිලිබඳ රැකියා සපයන්නා විසින් සඳහනක්  කරලා නැති නම් අපිට පුළුවන් අපි කැමති විදියකට ජීව දත්ත සටහන යවන්න. හැබැයි කැමති විදියට යවන්න කලින් පළමු පියවර සාර්ථකව නිම කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ අදාළ ආයතනය අලුත් දේවල් වලට කැමති, සාම්ප්‍රදායික බවින් තෝර ආයතනයක් නම් අලුත් තාලේ ජීව දත්ත සටහනක් යවන්න. ආයතනය අමුතු දේවල් වලට කැමති නැත්තම් සාම්ප්‍රදායික ජීව දත්ත සටහනක් යවන්න. හැබැයි ඒ සාම්ප්‍රදායික බව ඇතුලේ හොද ගුණාත්මක භාවයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. අපි හදන ජීව දත්ත සටහන ගුණාත්මක භාවයෙන් ඉහල වෙන්න පුළුවන්. හැබැයි ඒකෙ ගුණාත්මක භාවය රැකියා ලබා දෙන්නාගේ පරිගණකයේදී පෙනෙන්නේ නැත්තම් අපේ සම්පුර්ණ මහන්සියම අපතේ යනවා.


ඒක නිසා, මගේ පවුද්ගලික මතය තමා හොදම විදිය .pdf එකක් විදියට තමන්ගේ ජීව දත්ත සටහන යවන එක. ලේසිම වැඩේ තමා, තමන්ගේ සුදුසුකම් ඔක්කොම එකතු කරලා හදාගත්තු මාස්ටර් CV එකක් (බොහෝ විට වර්ඩ් වලින් සෑදු එකක් විය හැකියි)තියා ගැනීම. රැකියාවකට අයදුම් කරනකොට මාස්ටර් CV  එක අවශ්‍ය විදියට වෙනස් කරලා වෙන නමකින් .pdf එකක් විදියට සේව් කරගත්තම හරි. වෙන නමකින් කිව්වේ, document 1357.pdf කියලා නෙවේ. තමන්ගේ නම සහ ඉල්ලුම් කරන තනතුර ෆයිල් නේම් එක විදියට භාවිතා කරනවා නම් හොදයි. උදාහරණයක් විදියට Saman_Perera[accountant].pdf එය රැකියා සපයන්නාට පහසුවක්. එවිට ඔවුන්ට පුළුවන් නම අනුව පහසුවෙන් ඔබගේ අයදුම් පත්‍රය හෝ ජීව දත්ත සටහන සොයා ගන්න. ඊ මේල් කරනවා නම් අනිවාර්යෙන්ම ඊ මේලයේ මාතෘකාව විදියට සදහන් කරන්න ඔබ ඉල්ලුම් කරන රැකියාව. එම රැකියාව කිරීම සඳහා ඔබට අවශ්‍ය සුදුසුකම් ඇති බව ආදී covering letter එකක ලියන දේවල් ඊ මේල් ලිපියේ ඇතුලත් කරන්න පුළුවන්.

අයදුම් පත්‍රය තැපැල් කරනවා නම් ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව ජීව දත්ත සටහන මුද්‍රණය කරවාගන්න. තමාගේ පින්තුරයක් අඩංගු නම් එය පැහැදිලිව පෙනිය යුතුයි. ඊ මේල් කලත්, තැපැල් කලත් ඔබගේ අයදුම්පතේ හෝ, ජීව දත්ත සටහනේ වම පස තීරුවේ වැඩි ඉඩක් තියන්න අමතක කරන්න එපා. ලැබෙන සියලුම අයදුම්පත්  බොහෝ වෙලාවට ආයතන වල ඇති ලිපි ගොනු වලට එක් වෙනවා. ඔබ වම් පසින් සැලකිය යුතු ඉඩක් නොතැබුවේ නම් ඔබ ලියු වැදගත් කරුණක් ලිපි ගොනුවේ ඇමුණුම් උපකරණ වලට යටවී යන්නට තිබෙන ඉඩ කඩ වැඩියි.

ඔබ තැපෑල හරහා අයදුම් කරන්නේ නම් covering letter එකක් අයදුම්පත්‍රයට ඉදිරියෙන් අමුණා යැවිය හැකියි.

covering letter මාගලක් වගේ ලියන්න ඕනේ නැහැ. මම විශ්වාස කරන්නේ ඒකෙ ඇතුලත් වෙන්න ඕනේ මේ කරුණු ටික කෙටියෙන්:

  • රැකියා අවස්ථාව සොයාගත් ආකාරය
  • රැකියාවකින්  තමා බලාපොරොත්තු වෙන දෙය
  • රැකියාව කිරීමට තමන් කැමති බව
  • රැකියාවට සරිලන සුදුසුකම්, අත්දැකීම් තමන්ට තිබෙන බව
  • පෙර සඳහන් කල තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්නා අතර තුර රැකියා සපයන්නාගේ හෝ අදාළ සමාගමේ බලාපොරොත්තු සහ අරමුණු ඉෂ්ට කිරීමටහැකි බව


ඒ වගේම තමන් යවන හැම CV එකේම පිටපතක් තමන් ළග තියාගන්න. සම්මුඛ පරීක්ෂණයට පිටත් වෙන්න කලින් ඒක ආයේ පාරක් කියවන්න.

අපි සම්මුඛ පරීක්ෂණයේදී ජීව දත්ත සටහන හරි අපිට එව්ව අයදුම් පත හරි පාවිච්චි කරලා ප්‍රශ්න අහනකොට සමහරු දෙන උත්තර ඔවුන් ජීව දත්ත සටහනේ සඳහන් කරලා තියන තොරතුරු වලට වෙනස්. ඒ වගේ වෙලාවට අයදුම්කරුවාගේ ලකුණු අඩු කරන ඒක අනිවාර්යෙන් වෙන දෙයක්. ඒක නිසා ඇත්ත ලියන්න, ලියපු ඇත්ත මතක තියාගෙන යන්න සම්මුඛ පරීක්ෂණයට.

සමහර රැකියා සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් අන්තර්ජාලය හරහා විතරයි. එහෙම වෙලාවට සැලකිලිමත් වෙන්න යවන අයදුම් පතේ අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ ගැන. අන්තර්ජාලය හරහා ඉල්ලුම් කරන්න තියන බහුතරක් අයදුම් පත්‍ර වල රැකියාවට සම්බන්ධ හෝ සම්බන්ධ නැති ප්‍රශ්න කිහිපයක් අහලා තියනවා. සමහර ආයතන තමන්ගේ රැකියා දැන්වීමේ දානවා "ඔබ මෙම තනතුරට ඉල්ලුම් කරන්නේ ඇයි?" වගේ ප්‍රශ්නෙකට උත්තර ලියලා එවන්න කියලා. ඒ වගේ දෙයකින් රැකියා සපයන්නා ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. අයදුම් කරුවා ඇත්තටම රැකියාවට කැමතිද? ඔහුගේ ලිවීමේ හැකියාව කොහොමද? ඉංග්‍රීසි භාෂාව හෝ අදාළ වෙනත් භාෂාවක් හසුරවන්නේ කොහොමද? අයදුම්කරුවා හිතන හැටි, ඔහුගේ පෞර්ෂත්වය , ඔය වගේ දේවල් ගොඩක් ඒ වගේ ප්‍රශ්න වලට ඔබ ලබා දෙන පිළිතුරු වලින් එළි වෙනවා. ඔබ මේ වගේ ප්‍රශ්න වලට ඕනෙවට එපාවට උත්තර ලිව්වා කියන්නේ ලොකු පාඩුවක්. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් මේ රැකියාව මට නොලැබුනොත් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න වැය කරපු කාලයත් අපරාදේ කියලා. වෙලාවකට එපා වෙනවා තමා ඔය වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒ වුනාට ඒ කාලය වැය කිරීම කවදාවත් අපරාදයක් වෙන්නේ නැහැ.

සම්මුඛ පරීක්ෂණ වලට යන එකත් ලොකු අත්දැකීමක් කියලා දැන් බහුතරයක් පිලිගන්නවා. රැකියාවලට අයදුම් කිරීමත් එහෙමයි. ඒ කලාව දැනගන්න අයදුම් කරලම බලන්න ඕනේ. පළවෙනි අයදුම්පත්‍රයෙන්ම රැකියාව ලැබුනා නම් ඔබ වාසනාවන්තයෙක්.

දැනටමත් මේ ලිපිය ගොඩක් දිග වෙලා. අයදුම්පතින් පස්සේ එන දේවල් ගැන ඊලග ලිපියෙන් කතා කරමු.


[අවුරුද්දක විතර කාලයකට පස්සේ නැවතත් බ්ලොග් ලෝකයට ආවේ බ්ලොගයේ පොඩි වෙනසකුත් එක්ක. මම කලින් ඉංග්‍රීසි  ලිපි සඳහා එක් බ්ලොග් අඩවියකුත් සිංහල ලිපි සඳහා මෙම අඩවියත් භාවිතා කළා. නමුත් අද පටන් මෙම අඩවියෙන් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ලිපි කියවීමට ඔබට හැකි වේවි. ඔබට සිංහල ලිපි පමණක් කියවීමට අවශ්‍ය නම් Sinhala posts යන ලේබලය ඔස්සේ සිංහලෙන් ලියැවී ඇති ලිපි කියවීමට පුළුවන්. ඉංග්‍රීසි ලිපි සඳහා English posts ලේබලය ඔස්සේ යොමු විය හැකියි. සිංහල භාෂාවෙන් ඇති ලේබල් යටතේ ඇත්තේ එම මාතෘකාව යටතේ ලියැවී ඇති සිංහල ලිපි අතර ඉංග්‍රීසියෙන් ඇති ලේබල යටතේ ඉංග්‍රීසි ලිපි කියැවිය හැක.


මෙම කතා මාලාවේ මීළඟ ලිපි :-
දෙවන කොටස : [ රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - දෙවන අදියර ] දැන් අපි යන්න හදන්නේ සම්මුඛ පරීක්ෂණයට
තෙවන කොටස :  [ රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - තෙවන අදියර ] - සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම