Wednesday, November 23, 2011

සාරිය

ඩෙනිම , ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු කුට්ටමට නිවාඩු ලැබිණි.

දැන් ජාතික ඇඳුම සාරිය යැ.


වෙනදා නම් 8 ට ආරම්භ වෙන දේශනයට යාම සඳහා මා අවදි වෙන්නේ 7.15 පමණය. මුණ කට සෝදා තියන දෙයක් ගිල දමා ඩෙනිමක් ඇඳගෙන අහුවෙන ටී ෂර්ට් එකක් ඊට උඩින් දමාගෙන ගෙදරින් පිට වෙන්නේ 7.45 ටය. ෆුට් බෝඩ් එකේ හෝ එල්ලී ගොස් ගලහා හන්දියෙන් බැස ඉතිරි ටික වල ගොඩැලි සහිත ෂෝට් කට් වලින් දමා කෙසේ හෝ 8.15 පමණ දේශන ශාලාවට සැපත් වෙමි. දැන් 7.15   වෙනතුරු නිදා ගැනීමට නොහැකිය.

සාරිය වූ කලී ජරා ඇඳුමකි. මා වැනි බිළින්දන්ගේ නිදාගන්නා කාලයට හෙනහුරා ගැසූ භුතයෙකි. විශ්ව විද්‍යාලයට යා යුත්තේ 8 වුවත් දැන් 5.30 අවදි විය යුතුය. අඩුම ගානේ 6 ට වත් සාරි ඇඳීමේ ව්‍යාපෘතිය දියත් කළ යුතුය.

සාරිය නමා පොටවල් සෑදිය යුතුය. අතේ පොට යන තුරු නැමුවත් ඒ පොටවල් කෙලින් හිටින්නේ නැත. බැරිම තැන කටු සීයක් විතර ගසා පොටවල් ටික සාදා ගෙන ඉස්තිරික්කය රත් කොට දෙන්නම් වැඩක් කියා සාරිය උඩින් තැබුවෙමි. සාරියක් පිච්චීමට ගතවන්නේ තත්පර කීයක්ද යන ගැටලුවට නිවැරදි පිළිතුර මා සොයා ගත්තේ එදාය. සාරිය විතරක් ඉස්තිරික්ක ගත කළාට වැඩක් නැත. හැට්ටයද, සායද ඉස්තිරික්ක කළ යුතුය. මේ විකාර ගැන කියන්නට ඇත්තේ මළ සමයන් සාරි ඇඳන් යනවා කියාය. සරසවි සිසුවියෙක්ව සිටි කාලයේ ජීවිතේට ඇඳුමක් මැද්දේ නැති මට මේවා මැජික් යැ. ඩෙනිමට මල් තියා වදින්නට සිතෙන්නේ දැන්ය.

පොටවල් සාදා ගත්  පසු ආරම්භ වන්නේ යුද්ධයේ දෙවැනි කොටසය, එනම් මානුෂික මෙහෙයුමය. එයට මානුෂික මෙහෙයුම යැයි කියන්නේ යුද්ධයේ ඉතිරි කොටස සඳහා මනුස්සයන් කිහිප දෙනෙක් අවශ්‍ය නිසාය.

කාපුවා උගුරෙන් ඉහළට එන තරමට තද කළ පටියක් ඉණ වටේ බැඳේ. ඒ පටියේ සාරිය පැටලේ. සාරිය කකුලේ පැටලේ. මම වැටේ. සාරිය කැඩේ. පළවෙනි දිනයේ  දින චරියාව මෙසේ වූ හෙයින් තත්වය analyse කර බැලුවෙමි. දැන් ඉණ වටා කටු ගසමි. කටු ඇනී ඇනී දවසම ගත කරමි. ඩෙනිමක් නම් කඩෙන් ගත හැකිය. ඕනෑ සරීරයකට ගැලපෙන ඕනෑ සයිස් ඩෙනිමක්, ටී ෂර්ට් එකක් කඩෙන් සොයා ගත හැක. නමුත් මා සිතා සිටියේ සාරී ඔක්කොම එක සයිස් කියාය. ඒ නිසා දුටු සැනින් හිත ගිය සාරියක් මිලදී ගත්තෙමි. දහ දුක් විඳ හැට්ටයත් මහා ගත්තෙමි. එක්තරා දිනක උදේ පාන්දර ඒ සාරිය ඇඳීමට පටන් ගත්තෙමි. කාලා හමාරය, සාරිය කොටය. ඒ අස්සේ සාරිය මැදින් නූල් ගැලවිලාය. මම උස නිසා උසට ගැලපෙන සාරි තෝරා ගත යුතු බව එදා අපේ නැන්දා කීවාය. මලා යැ. මීට පස්සේ සාරී ගන්න විට උස බැලිය යුතුය. කඩේ එක කොණක සිට අනික් කොන දක්වා සාරිය එළා එහි නූල් ගැලවී ඇත්දැයි බැලිය යුතුය. twitter භාෂාවෙන් කියනවා නම් #NoteToSelf යැ.

සාරි හැට්ට මසා ගැනීමද සංසාරේ එපා වෙන වැඩකි. මිනුම් දිය යුතුය, සල්ලිත් දිය යුතුය. නමුත් මේ වන තුරු මගේ හිතට අල්ලන එක හැට්ටයක් වත් මසා ගැනීමට නොහැකි විය. ඒ නිසා සැමටම රැකවරණය දෙන කඩේ හැට්ටයක් ගත්තෙමි. වැඩේ ලෙසිය, රේඩි මේඩ් යැ. නමුත් එය ලිස්සා වැටේ. සාරියේ පොට අල්ලා හැට්ට කට්ටක් ගැසූ විට හැට්ටය අත දිගේ රූරා වැටේ. ඇඩෙනවා යැ. කඳුළු එනවාය.

එක තැනකට කට්ටක් ගසා අනිත් තැන හදන විට තවත් තැනකින් රැළි ඇද වේ. රැළි ටික එක ගානට හදන විට පොට දිග මදිය, එසේ නැත්නම් දිග වැඩිය. කට්ටක් ගැසීමට අමාරුවෙන් පොටවල් ටික අල්ලා ගත් නමුත් කට්ට ගැසූ විට සාරිය රැළි ගැසී ඇකිලී යයි. එවිට මතක් වෙන්නේ සාරිය සොයාගත් කෙනාගේ මාමා ය.

සාරිය වූ කලී ජරා ඇඳුමකි. කාලය නිකරුණේ වැය කරවන වදකාරී ඇඳුමකි.

කෙසේ හෝ රෙද්ද පටලවා ගෙන ගෙදරින් එළියට බැසීමට සුදානම් වෙද්දී දෙවියන් සිහිවෙන්නේ සාරිය පෑගීම නිසා වැටීමට යෑම නිසාය. සාරි පොට කරට දමා ගත යුතුය. එක අතකින් බස් එකට සල්ලි ගත යුතුය, අනිත් අතින් සාරිය ඔසවා ගත යුතුය. පොඩ්ඩක් උස අඩියක් ඇති සෙරෙප්පු දෙකක් දැමිය යුතුය. නැතහොත් දවස අවසානයේ සාරිය ඌරු  කොටුවක දොර රෙද්දක් සේ දිස්වනු නියතය. අමතක වුණාය, කෑම, බීම, පොත්, පැන්සල් සහිත බෑගයද කරට දාගත යුතුය. මේ බෑගයද එක කරකට පමණක් බර දැනෙන hand bag යන ජාතියේ එකක් නිසා කරත් රිදෙන්නේය. කරන්නට දෙයක් නැත, කුම්බලා කෑවා නම් විදවපිය බළලෝ ලු යැ . ඔය අස්සේ වැස්සා නම් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත මේ ලෝකෙත් නැත. බසයට නැගීම මී ළඟ යුද්ධය යැ. එක අතකින් සාරියය, අනිත් අතේ බසයට සල්ලිය, එසේ නැත්තම් කුඩය යැ. බස් එකට නගින විට අල්ලා ගැනීමට දැන් අතක් නැත. පිරිමි වාසනාවන්තය කියා සිතෙන්නේ මේ වෙලාවටය. බසයට නැගගත්තත් උඩ පොල්ලේ එල්ලී යෑමට හැකියාවක් නැත. සාරියක් හෝ ඔසරියක් ඇඳ බස් එකේ මැද පොල්ලේ එල්ලී වැඩට යන කාන්තා පාර්ශවය මේ ගැන දන්නවා ඇතැයි සිතමි. බස් එකේ යෑම සේම බැසීමද බයානකය. වෙලාවකට මම බස් එකෙන් පිටය, සාරි පොට බස් එක ඇතුළේය. වෙලාවකට පොට එළියේය, මම ඇතුළේය. එක දවසක් මම එළියේය, සාරි පොට බස් එකේ දොරේය, කොන්දොස්තර  සාරි පොට උඩය. දුෂ්කර ක්‍රියා කර බසයෙන් පොළවට මාරු වී සාරිය දෙස බැලූ විට බොහෝ දිනවල තරු පෙනෙන්නේය. 

  • සාරි පොට ගෙදරින් එන විට තිබු තැන නැත.
  • සාරියේ යට හරියේ සපත්තු පොලිෂ් පහරවල්ය.
  • සාරියේ රැළි ටික පිලිවලකට නැත. 
බස් එකෙන් බැස ගත්තද වෙනදා සේ දැන් මීටර් සීය දිවීමට නොහැකිය. අඩි උස සෙරෙප්පු මළ වදයක් යැ.ගල් වල පැටලේ, වලවල් වල වැටේ, පැය කිහිපයක් ඒවා දාගෙන සිටින විට කොන්දත් රිදෙන්නේය. දුකට හේතුව සාරියය. දුක නැති කරන මාර්ගය වැටී තිබෙන්නේ ඩෙනිම් මාවත හරහා ටී ෂර්ට් දක්වාය. නමුත් එය මේ දිනවල වසා ඇති පාරක් ය.

ඩෙනිම් මාවතේ යනවිට කරාඹු, මුදු, මාල කිසිවක් අවශ්‍ය නැත. කැමති නම් කොණ්ඩය නොපීරා වුවද ගෙයින් පිට යා හැකිය. නමුත් සාරියක්/ ඔසරියක් අඳින්නේ නම් කරාඹු දැමිය යුතුය, මාලයක් දැමිය යුතුය, පිළිවෙලකට කොණ්ඩය පීරිය යුතුය. රත්තරන් වලට ඇති අකමැත්ත නිසා සාරියට ගැලපෙන පාට වලින් මාල , වළලු සෙවීමද කළ යුතුය. ඒවාද අස්ප ගණන්ය. වෙනත් වචනයකින් කියනවා නම් සාරිය මහම මහා වදයකි.


ඔය මොනවා කිව්වත් සාරිය/  ඔසරිය අපේ රටේ වැඩ කරන කාන්තාවගේ ජාතික ඇඳුමය. එය සංවර ඇඳුමකි, හොඳ තැනකට යනවිට ඇඳගෙන යා යුතු ඇඳුමකි. පිටත් පේනවා නම්, බඩත් පේනවා නම්, කොන්දත් පේනවා නම්, කරත් පේනවා නම් සාරිය/ ඔසරිය සංවර ඇඳුමක් වන්නේ කෙසේද යන්න කවුරුවත් කතා නොකරන මාතෘකාවකි. හිරට ඩෙනිමක් අඳින විට කෑ  ගසන තාත්තලා, ඔවුන්ගේ දුවලා සාරියක්/ ඔසරියක් අඳින විට කවදා වත් බනින්නේ නැත. ඒ ලංකාවේ හැටිය. ඕවා ගැන දුක් වී වැඩක් නැත.



ඩෙනිම, ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු වලට ජය වේවා ය!

65 comments:

Chinthaka Maduranga said...

අපිත් දැකලා තියෙනවා. ඔයාලෑ කට්ටිය ඔහොම ඩෙනිමක් ඇඳලා රබර් සෙරෙප්පු දෙකක් දාගෙන එනවා. මට හිතෙන්නේ නංගි ඩිපාර්ට්මන්ට් නැවතිලා වගේ. එහෙනම් ඉතින් දිගටම සාරි අඳින්න . ඔන්න මගෙනුත් නංගිට සුබ පැතුම් අලුත් රස්සාවට.


මම මධුරංග

Muhammed Sabith Liaquat said...

හික්ස්! ජයවේවා රස්සාවටයි ඩෙනිමටයි දෙකටම!

Gangz Diza said...

සාරියේ පොට අල්ලා හැට්ට කට්ටක් ගැසූ විට හැට්ටය අත දිගේ රූරා වැටේ. ඇඩෙනවා යැ. කඳුළු එනවාය.

meka nam Deepz mama hodata athekala tiyenawa. paara digata mehema unama andapu ekkenatat gahanna hitenawa :P

Pravin Indranama said...

අපේ උන්දැත් ගිය මාසෙ ඉඳන් “දිනපතා සාරි“ මෙහෙයුම පටං අරන් තියෙන්නේ! :D

lak laklak said...

හයියෝ දුක තමයි ඩීප්ස්... පේන හැටියට ‍ඔයා අඳින්නේ ඔසරිය? ඒක හැබැයි සාරිය අදිනවට වඩා හොදයි මොකද ගැලවිලා වැටෙන්න තියන ඉඩ අඩුයි. හැබැයි පටිය ගාවින් සාරිය ඉදගෙන ඉදලා නැගිටිනකොට පොඩ්ඩක් ගැලවෙන්න බලන එක තමයි අවුල. ඒත් ටික දවසක් පුරුදු උනාම හරියයි.. වැදගත්ම දේ සෙරෙප්පු ගන්නකොට ඉස්සරහා මල් ගල් එහෙම අල්ලලා තියන ඒවා ගන්න යන්න එපා සාරිය ඒවායේ පැටලෙන්න බලනවා. එතකොට වැටෙන්න යනඑක විතරක් නෙවෙයි සාරිය ඉරෙන එකත් වෙන්න පුලුවන්. 
පොට ගැහුවම හැට්ටේ හැලෙන්න බලන එක එක නම් කොමන් එර එකක්. මම නම් කරන්නේ හැට්ටේ උඩම හක් දෙක නොදා හොදට ඇඳලා කට්ටක් ගහන එක නැත්තං ඔය කරෙන් හැලෙන කේස් එක නවත්තන්න අමාරුයි. දුක් වෙන්න එපා ටික දවසක් ඇන්ඳම හුරු වෙයි. ඒත් ඉතිං ඩෙනිමෙයි ස්ලිපස් දෙකෙයි නිදහස නම් ලැබෙන්නේ නැ තමයි අනේ...!

buddie said...

hmmm after a long time deeps ge blog eka paththe awe. Ape jeewithath den sariya wage thama :( :( 
shik kohoma hitiya apida ne :P

Punchisamanalee said...

අප්පච්චියේ.... මෙන්න සමනලී වගේම තවත් කෙනෙක්!!! අපරාදේ කියන්න බෑ ඔයා නියමෙටම කියලා තියෙනවා... සමනලීත් විශ්ව විද්‍යාල සිසුවියකගේ කාලය අවසන් වෙලා ඩිපාර්ට්මන්ට් එකේ ඩිමෝ කෙනෙක් වීමේ විපාක හැටියට ඔය වදකාර සාරිය එක්ක ඔට්ටු වෙනවා... හැබැයි ඔසරිය ඇන්දාම කරදර ටිකක් අඩුයි. කටු ටොන් එකක් ගහලා ඇන්දාට පස්සේ ආයේ ඇගට ඇලෙව්වා වගේ තියෙනවා. ඉස්සරහින් පෑගෙන්නෙත් නෑ ඒ ටිකේ රැලි නැති නිසා. සමනලී 3 වතාවක්ම කකුල් කඩාගෙන ඉන්න නිසා අඩි උස සෙරෙප්පු දාන්නත් බැහැ.

Burubabe said...

සාරිය අඳින එක නම් කොහොමහරි කරගත්තා කියමුකෝ. මට හිතාගන්න බැරි කොහොම දවස තිස්සෙම ඒක ඇඟ වටේ ඔතාගෙන ඉන්නවද කියලා

madusha said...

I like the final paragraph 

roshanherath said...

සාරි අඳින්න ගතවෙන වෙලාව ගැන එච්චර හිතන්න එපා. දැනට පැයගානක් මහන්සි වුනත් ටික කාලයක් යද්දි විනාඩි2න් සාරි-ඔසරි ඇඳගන්න පුලුවන් වේවි. අහලා බලන්න බැංකුවල කාලයක් වැඩ කරපු මිස් කෙනෙකුගෙන්..
අපේ මිස් කෙනෙක් කීවා සාරිය-ඔසරිය අදින්න විනාඩි 2ක්වත් යන්නෙ නැති කතාවක්. අලුතින් එන අය පැයගනන් මහන්සි වෙලා නෙ  ඔසරිය අඳින්නෙ.

Binku.pg said...

"අවදි වෙන්නේ 7.15 පමණය. මුණ කට සෝදා තියන දෙයක් ගිල දමා ඩෙනිමක් ඇඳගෙන අහුවෙන ටී ෂර්ට් එකක් ඊට උඩින් දමාගෙන ගෙදරින් පිට වෙන්නේ 7.45 ට"

විස්වාස කරන්න අමාරුය, මම නැවත වරක් මේ අක්කා කෙනෙක් බිලොග් එකක්ද කියා පිරිසකසන්නට විය.


"පිටත් පේනවා නම්, බඩත් පේනවා නම්, කොන්දත් පේනවා නම්, කරත් පේනවා නම් සාරිය/ ඔසරිය සංවර ඇඳුමක් වන්නේ කෙසේද යන්න කවුරුවත් කතා නොකරන මාතෘකාවකි. හිරට ඩෙනිමක් අඳින විට කෑ  ගසන තාත්තලා, ඔවුන්ගේ දුවලා සාරියක්/ ඔසරියක් අඳින විට කවදා වත් බනින්නේ නැත. ඒ ලංකාවේ හැටිය. ඕවා ගැන දුක් වී වැඩක් නැත."

අමුලික ඇත්තය, ජාතික විදියට පේනවා නම් අපේ අයට කාරී නැත. විජාතික විදියට පේනවා නම් ජුවල්ය. අපේ අය ගැන කියන්න අනේ මන්දැයි සිතේය.

priyantha hewage said...

මාර වැඩක් මේක බූන්දියේ තීලා සයිමන් නවගත්තේගමගේ කෙටි කතාවක් වගේ එකක් කියෙව්වට පස්සේ සාරිය ගැන පෝස්ට් එකක් දාන්න හිතා ගෙන ඉන්න කොට ඔයා මේක දාලා. කමක් නෑ මේකටත් ලින්ක් එකක් දාලා මගේ පෝස්ට් එක හෙට අනිද්දම දෙන්නම්..

Chanaka Munasinghe said...

හකිz හිකිz පාව් දීප්z. සාරිය ඇඳීමේ කෙටි ක්‍රම සහ විධි ඉක්මනින් පුරුදු වෙයි :)

Namal jayatahunga said...

ඩෙනිම් ඇඳල ඇඳල පුරුද්ද නිසා මුලින්ම ඩෙනිම අමාරුවෙන් ඇඳපු හැටි අමතකව ඇති. ටික දවසක් යනකොට සාරි කරේ තියන් දුවන්නෙ නැතෑ. පාසල් යන මිස්ල දැකල ඇති නේ.

Indika27 said...

http://www.youtube.com/watch?v=dxyyplADV5o
මේ තිරනාටකයෙන් කියවන විදියට සාරිය ඇඳීම අර කලිසම ඇඳීම වගේ 1.2.3.4 ස්ටප් පිලිවෙලට යන එකක් නෙමෙයි..
එක දෙක හතර දෙක තුන හතර අන්න ඒ වගේ බැක්වර්ඩ් කවුන්ටින් ක්‍රෙම්කට යන්නෙ...
මං හිතන්ෙන මේක ලේසියි..වගේ..

Dedunu Dhananjaya said...

අයියෝ සාරි හික්ස්

මාරයා... said...

අපොයි මේ කෙල්ලට වෙච්ච දෙයක්..මං එක පාරක් දැක්කා මූණු පොතෙත් "අහෝ සාරී" කියලා තිබුන හැටි..මට එදානං ඇත්තටම හිනා ගියා..ඒත් දැන්නං බොලා ගැන සෑහෙන දුකක් ඇති උනා... මොනවා කොරන්නද..?

ඒත් මං හිතන්නේ ඔය සාරිම අඳින්න ඕන කියන සම්මතයට විරුද්ධව කතා කරන්න ඇයි බැරි... ඔයාලා කොක්ක අදින්න..අපිත් පුළුවන් උපරිමයෙන් සප් එක දෙන්නං.. මාත් ඔය අමාරුවෙන් ඇඳුම් අඳන් කරන්න වෙන මෙලෝ දේකට කැමති නැති එකා... මොන මගුලක්ද මංදා අපේ උන්ට වැඩ කලත් නොකලත් ඒක නෙවෙයි අවුල වැඩට ඇදන් යන එක... මොන මගුලක්ද... අනික් ඉතිං ඕක මේ සිංහල ඇඳුමක්ය කියලම කෑ ගහන්නත් බැහැනේ..ආන්න එහෙමවත් උනානං ඔය සංස්කෘතිය කන්න හදනෝ කියලවත් කවුරු හරි කෑ ගහයි.. ඒත් එහෙම කෑ ගහන්නත් පුළුවන් එකක් නෙවෙයි හින්දා මං හිතන්නේ ඔය සාරි කේස් එකටනං බකට් එකක් ඇද්දෑකි.

ඒත් ඉතිං අපේ කාන්තා පාර්ශවයේ උන්දලම තමා ඔය සාරි පිස්සුව කරේ තියං කැරකෙන්නේ..එව්වට ඉතිං අපි මොනවා කොරන්නද..?

Uditha Umesh said...

සාරිය වනාහී මල ඇනයක් නෙ යකෝ.. අපේ උන්දෑ ගේ ෆේවරිට් වන "made-up" සාරි හොඳ නැතෙයි..? සට පට ගා ඇඳ ගත හැක, පොට ගැන #noworries

Lakshman Thilakarathna said...

ජය වේවා ඩීප්ස්. ....... කොහොම හරි සාරි මුවාවෙන් ජොබ් එක ගැන කිව්වා එහෙනම්.......

Gordonia90 said...

අපොයි මේ ඩිමෝ අක්කා අපේ එකේද මංදා ඉන්නෙ :)
කොහොම වුනත් සාරිය අඳින්න පුරුදු වෙන්න.
ඒක ලස්සන ඇඳුමක්නෙ :)

hare :-) said...

රසඥතාවය කියන එක තියෙන උන්දෙලා කියන්නෙ සාරිය තරම් කාන්තාවන්ගෙ සුන්දරත්වය ඉස්මතු කරන ඇඳුමක් නෑ කියල. සුන්දරත්වයේ පැත්තෙන් බැලුවනම් ඔය කොයි ඇඳුමත් ගැලපෙන්නෙ නෑනෙ. [ඒ කිව්වෙ ඇඳුම් ගැලපෙන්නෙම නෑ ;-) ] හැබැයි පහසුව අතින් නම් ඩෙන්ම, ටී ෂර්ට් එක එක්ක රබර් සෙරෙප්පු දෙක තරම් සුදුසු සෙට් එකක් තවත් නෑ...

Chanaka Madushan said...

"පිටත් පේනවා නම්, බඩත් පේනවා නම්, කොන්දත් පේනවා නම්, කරත් පේනවා නම් සාරිය/ ඔසරිය සංවර ඇඳුමක් වන්නේ කෙසේද"තිත්ත උනත් සත්‍ය ඕකනෙ. ඔය පේන තැන් ටික වහගත්තනම් සංවරයි. ඒත් අක්කෙ ගොඩක් අය ට්‍රයි කරන්නෙ අසංවර වැඩේටමනෙ. සමහරු ස්වභාව සවුන්දර්යට පාරෙ යන අය කැමතියි කියලද හිතාගනද කොහෙද පිට මැද්දෙං පටි පටිත් අදිනව :P ඒ අතින්නම් ඩෙනිමයි ටීෂර්ට් එකයි රත්තරං තමා. ඒක ජාතික ඇඳම කරානම් හරි. කාන්තා පිරිමි වෙනසක් නෑ. දෙගොල්ලම ෂේප්නෙ

Pavithra Dharmapriya said...

පිටත්
පේනවා නම්, බඩත් පේනවා නම්, කොන්දත් පේනවා නම්, කරත් පේනවා නම් සාරිය/
ඔසරිය සංවර ඇඳුමක් වන්නේ කෙසේද යන්න කවුරුවත් කතා නොකරන මාතෘකාවකි. හිරට
ඩෙනිමක් අඳින විට කෑ  ගසන තාත්තලා, ඔවුන්ගේ දුවලා සාරියක්/ ඔසරියක් අඳින
විට කවදා වත් බනින්නේ නැත. ඒ ලංකාවේ හැටිය. ඕවා ගැන දුක් වී වැඩක් නැත.

කතාව නම් සම්පූර්ණ ඇත්ත....
 

හසී . said...

හෆ්ෆේ කියලා වැඩක් නෑ.. සාරිය ඇඳන් බස් එකේ ගියොත් සාරිය බස් එකේ තියෙයි අපි බිම ඉඳි.. වෙලාවට අපිට සාරි අඳින්න නැත්තේ.. එහෙනම් අනිවා ගන්න වෙනවා ස්කුටියක් ;)

Ashan Imantha M.H.Bandara said...

අලේ අලිඤ්ඤං අපේ ඩීප්ස් අක්කට වෙන වැඩ....හි හි හි.....
ඩෙනිමට නම් මම මල් තියලා වඳිනවා....ඕනම තැනකට කියාපු ඇඳුම......

ඕක හිමීට පුරුදු වෙයි අක්කේ.....අවුල් ගහන්න එපා.....

Chanaka Palliyaguru said...

This is awesome and feel very very pity for you. May be you can go for European dress or "Pre-Stitched Sarees / Automatic Sarees" LOL :D

Kathandara said...

ඉතිං දැන් ඇයි කලිසමක් සහ බ්ලවුසයක් අඳින්නේ නැත්තේ? මට හිතාගන්න බෑ ඒක!
කවුරු හරි තහනම් කළාද, අර තලිබාන් ලා වගේ පිරිසක්වත්?

Charmi Sam said...

අයියෝ ඇඬෙනවාය.
දුකයැ.
ලියමන එළයැ.

goldfish said...

ඔය සාරිය අඳින විදිය අනුව ලස්සන වෙනස් වෙනවා. ඉස්සර අපේ අම්මට මං ස්කෝලෙට එන්​න එපා කියලා තිබුනේ සාරිය නැතුව වෙන ඈඳුම් ඈඳගෙන.

Dp said...

පිටත් පේනවා නම්, බඩත් පේනවා නම්, කොන්දත් පේනවා නම්, කරත් පේනවා නම් සාරිය/ ඔසරිය සංවර ඇඳුමක් වන්නේ කෙසේද?.... මේක නන් මටත් තියන ලොකු ප්‍රශ්නයක්..... :( කොහොම උනත් ඩෙනිම සහ ටී- ෂර්ට් එකට ජය වේවා!!!... මම නන් ඉස්සර ඉදන්ම ගෙදරට කිව්වේ සරී අදින්න වෙන ජොබ් නන් කරන්න බැහැ කියල... මගේ වෙලාවට මට දැනට නන් එහෙම එකක් ලැබුනා..... :D

දුකා said...

මුලදී කොයි වැඩෙත් අමාරුයි බන්.

ටික කලක් ගියාම සාරිය සුටුස් ගාලා ඇඳ ගන්න ඇහැක් වෙයි.

අපේ ගෙදර උන්දෑ නම් උසස් අධ්‍යාපනය ලබන කාලෙම ප්‍රාර්තනා කලේ සාරි ඇඳන් යන ජොබ් එකක් ලැබේවා කියලු.

හිතපන් හඟුරංකෙත පැත්තේ ගස් ගල් අස්සේ රිංගන කඳු පල්ලම් නගින බහින ටෙක්නිකල් ඔෆිසර් ජොබක් ලැබුනාම?

මම ඉස්සර පුලු පුලුවන් වෙලාවට සාරියක් දෙකක් යවන්වා මෙහෙන්.

ඇයි කෑලේ ගිහින් මිනුම් අරන් එනකොට සාරි ඉරිලා.

අපේ උන්දෑ නම් කියන්නේ මල පනිනම සීන් එක රෑ තිස්සේ නැහීගෙන අයන් කොරපු සාරිය උදේ නාගෙන එනටිකට නංගි ඇඳන් ගියාම පනින මලලු . . හික්ස්හැට්ට මහ ගන්න ඕන නම් අපේ මෙයාව සැට් කොරල දෙන්න ඇහැකි . . නුවරමනේ ඉන්නෙත් (සාරි හැට්ට කෝස් එකක් මගේ වදේටම කොලා . . එකට මම මැසිමකුත් තෑගි කොලා . . දැන් ලස්සනට මහනවා මගෙන් බැනුම් අහ අහ )

මොනා වුනත් මමත් ආසයි සාරි ඇඳලා ඉන්න ගෑනු ළමයින්ව සහ ගෑනුන්ව දකින්න . . . හරියට සාරි ඇන්දම පුදුම ලස්සනක්නේ අප්පා . . . ඒක නිසා අමාරුවෙන් හරි ඇඳපන් 

deeps said...

These are few comments from Facebook and my colleagues


this is written in a maxa way akki......:D loved it and enjoyed since i have seen my sis struggles to wear it...:Dhikzz

 nice post Deeps...math ithin oya duka a widihatama widinawane... :(

 Tell me about it!!! I nearly fell on my face in a mahakanda bus thanks to this damned saree!!!"Crucio", "sectumsempra" and "avada kedavra" to the loser who invented the saree!!!!

To top it, my saree came off in front of the students!!!!!!!Mage sari pota baladdi yanawa adi adi senaga athare. Mama nikan kamba adinawa wage eka adala kare da gaththa. Awurudu 16ka withara iskole yana pirimi daruwek 'sariya podi wenawa' kiayala eka heduwa. Harima sweet e wunath mama tikak embarass wela nopeni giya behela.eka dawasak mage sariya galawila mama danneth naha. salli denawa wage kellek menna saariya kiyala galawichchi pota athata dunna..wili lajjawayi :P

upuls said...

සමහරක් වෙලාවට, සමහරක් තැන් වලට, සාරිය ඉතින් නැතිවමත් බෑ නේ?

Isuru Gunawardana said...

පිටත්
පේනවා නම්, බඩත් පේනවා නම්, කොන්දත් පේනවා නම්, කරත් පේනවා නම් සාරිය/
ඔසරිය සංවර ඇඳුමක් වන්නේ කෙසේද යන්න කවුරුවත් කතා නොකරන මාතෘකාවකි.

Well said....
And nice way of writing.... :) :)

Chanux said...

I thought formal wear (men's) was the worst thing ever. Now I know it's not even close to the hell a saree makes.

Props for your courage to wake every morning knowing you have to wear a saree!

Priyantha said...

හොඳ වැඩේ හැමදාම ඩෙනිම් අඳින අයට.......:DDD

Niroshini Fernando said...

මටත් ඩෙනිම තරම් ඇඳුමක් මේ තුන් ලොවම නැත්තේයැ. කැම්පස් කාලයේදී මෙන්ම රැකියාවට යන විටත් ඩෙනිම හැඳ ගෙන යාම පිළිවන් ක්ෂේත්‍රයක සිටියේ මාගේ පෙර පිනකටම යැ. එ දවස මා රැකියාවට යනු දකින ඇතැම් අසල්වාසීහු මා නිසාම උපන් මහත් කරුණාවෙන් 'අනේ ළමයා තාම වැදගත් රස්සාවක් හම්බ වෙලා නැද්ද, කැම්පස් ද තාමත්' යයි අසනු විට මට හොඳටම හිනාය. අහ් නැත හිනා යැ.
ඔසරිය ඇඳීමට වැඩි කැමැත්ත යැ. අම්මා දකුණේ නිසා ඔසරිය ඇඳීමට ඉගෙන ගනු පිණිස යහළු අක්කලාගෙන් ටියුෂන් ගැනීමටද සිදුවිය. කොතෙක් කෙල පැමිණියද වසරකට දෙ තුන් වරකට වඩා මා හැඳි ඔසරියක් නැත.

කෙසේ නමුත් මැලිබන් හන්දියේ සිටින මට දැන් නම් සාරි ඇඳීමේ මහත් ආසාවක් ඇති වී තිබේ යැ. ලබන වසරේ ගෙදර ගිය විට වත් සාරි අඳිමි!

ප ලි - එල පෝස්ටය කැ!

dileeshiya ilangakoan said...

ටික දවසක් යද්දි නම් ඕකට පුරුදු වෙයි..මම හිතනවා සාරියට වඩා ඔසරිය අදින්න ලේසියි කියලා.ඕනෙනම් madeup කරන්නත් පුලුවන් නේ. කෙසේ වෙතත් අතපය කඩාගන්නෙ නැතිව ඉන්න බලන්න ඕකට පුරුදු වෙනකම්..සාරි ජීවිතයට ජයෙන් ජය !!!

Anandawardhana said...

බේදජනක යැ.
---
ඉතින් මේ ඇඳුම අනිවාර්ය ද? ඇඳුමට තේරීමක් නැද්ද? මම දැක්කා ඒ පැත්තේ තව කීප දෙනෙක්ම බොහොම අමාරුවෙන් "ඇඳගෙන" දුවනව.

Amila Banuka said...

ඩිපාර්ට්මන්ට් එකට සෙට් වෙලා වගේ....
ටික දවසක් ඇන්දාම ඕව පුරුදු වෙලා එයි. ඔය අපේ අම්මා විනඩි 2න් අදින්නේ...

henryblogwalker the dude said...

හපෝයි. ඔය සාරිය නිසා මගේ ගෑනිත් අතපයකඩානොගෙන බේරුනේ පෙර කල පිනකිනි. එක දවසක් එයා බිම සාරි පොට බස් එකේ. තව දවසක්...... ආහ් කියලා වඩක් නැත.

Sahan said...

ඒ කාලේ අම්ම සාරියක් අඳින්න පුරුදු කලේ නැතෙයි? අක්කා සාරිය අඳින්නේ බුරිය පේන්නද? නැද්ද?

deeps said...

my mother passed away when I was schooling and if I wore the saree like "that" I would never have written this post

deeps said...

අයියෝ...ඕවා ගැන කතා කරන්න එපා..සාරි කියන්නේ accident zone  එකක් මට නම්..මේ දවස් වල අපේ කැම්පස් පැත්තට පුදුම හුළඟක්...ඒ හුළං වලට සාරිය නිකමුත් කැඩිලා වැටෙනවා.. :(

deeps said...

අනේ සමහරු නම් එහෙම අඳිනවා..එත් මට නම් බැහැ....බලමුකෝ ටික කාලයක් යනකොට පුළුවන් වේවිද කියලා 

deeps said...

අහෝ ඛේදයකි තමා :( මෙහෙමයි...සාරිය අනිවාර්ය නැහැ ඒ වුනාට මෙහෙ සම්ප්‍රදාය සාරිය..රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න කියනවනේ...ඉතින් ඔය සම්ප්‍රදාය හැමදාම කඩන ඒක අමාරු වැඩක්..ඉඳහිට , එහෙම නැත්තම් උගන්නන්න නැති දවසට නම් සම්ප්‍රදාය කඩනවා..

deeps said...

ඒ වුනාට මම අඳින්නේ සාරිය නේ..ඔසරි අඳින්න නම් කොහොමත් දන්නේ නැහැ...ඔව් දැන් නම් පොඩ්ඩක් පුරුදුයි...හැබැයි ඉතින් තාමත් ආසම ඇඳුම තමා ඩෙනිම 

Sahan said...

ane sory akki petiyo...............

Ansh Lucky Sri Jay said...

නංගි ඩිපාර්ට්මන්ට්ද..? සුභ පැතුම්...!!
හයියෝඕඕඕඕඕ, මටත් ඔය කේස් එකම තමයි, මං අඳින්න දන්නෙත් නෑ, උදව්වක් ගන්න කෙනෙකුත් නෑ. ඊටත් මං වැඩ කලේ මඩකලපු යුනියෙ නෙව.
මං නම් ෆුල් සූට් එක ගහලා ගියේ ඒ කාලෙ :D :D
එහෙ අය නිකන් මැජික් වගේ ඒක දිහා බලනකොට නම් ඉතින් awkward situation  තමයි.
ඒත් ඉතින් මොකක් කරන්නද, ඒගොල්ලන්ට තේරෙන්නෙ නෑනෙව මං විඳින දුක ඒ කාස්ටක අව්වෙ කෝට් ඇඳගෙන. :D

Dasun Silva said...

kollantah kiyal;a loku wenasak naha...denima tharam athal edumak loweth naha.......magul kalisan edegena indha baha emadiwatata ewa podi unahama penawane....

Namal Jayathunga said...

කාලෙකින් අක්කිගෙ ලෝකය අප්ඩේට් වෙලා නෑනේ. මොකද ජොබ් එකේ වැඩ අදිකද?

Nisansa Dilushan de Silva said...

අහෝ ඛේදයකි! මාගේ බලවත් කණගාටුව. :-(


හැබැයි හොඳ වෙලාවට මොරටුවේ සාරි අනිවාර්යය නැත. 
විශේෂ උත්සව වලට සාරි උවමනා වූ විට සාරි අන්දන අය ළඟට ගොස් අන්දවා ගන්නවාලු.  හැමදාම ඕන වුනා නම්. මටත් co-workersලාගෙන් කනක් ඇහිලා ඉන්න වෙන්නැති එක  ඉර හඳ වගේ ෂුවර්ය. :-D

deeps said...

හී මේ මුල කාලේ ලියපු එකක්..දැන් නම් අපිත් ටික ටික මොරටුවේ අය අඳින ඇඳුමට බහිමින් සිටිමු :D

deeps said...

ජොබ් සහ වෙන වැඩ....දැන් ටයිප් කරන්න මාර කම්මැලියි ..කියවන එක නම් කරනවා ;)

deeps said...

හී ඇයි සපත්තු දාගෙන ඉන්න එකත් පිරිමි ළමයින්ට පේන්න බෑ නේද? :P

Nisansa Dilushan de Silva said...

ඒක හොඳයි. සමහර "සම්ප්‍රදායන්" තියාගැනීමට ගන්නා මහන්සිය ඉන් ලැබෙන ඵලයත් එක්ක සැසඳුවාම දරාගැනීමට නොහැකි තරම් වැඩිය. :-D

Namal Jayathunga said...

එහෙම කියල බෑ. අපි බලාන ඉන්නෙ.

Pramu said...

 මමද මේ සාරිය නිසා විදවන කෙනෙකි. මම සාරියක් අදින් හැමවිටම එය සොයාගත්
තැනැත්තාගේ දෙමව්පියන්ගේ ගුණ සිහිකරමි. මේ සාරිය ගැන the last  raw  එකට
ලිපියක් ලිවීමට සිතා  සිටියෙමි. මේ ලිපිය දුටුනිස නොලිවෙමි. 

sonduru nimnaya said...

මේ ලිපිය කියෙව්වම මමත් මොහොතකට හන්තාන පාමුල ගත කල ඒ සුන්දර අතීතයට ගියා..
මමත් ඉතින් අන්තිම මොහොතේ ලෙක්චර් වලට දුවන කෙනෙක් තමා.. කොල්ලෙල් විමේ
වාසනාවට අපට නම් ඉතින් කලිසම තමා. ඒත් අපට ආරන්චි විදියට විජේවර්ධනේ පැත්තෙ අපෙ බැචියොත් viva දවස් වලට පැය ගනන් සාරි අදිනවලු... ලොල්ස්..

Kathandara Karaya said...

සාරිය ද ඔසරිය ද ලේසි?


http://galaayanajeevithaya.blogspot.com.au/2012/06/blog-post_10.html

deeps said...

මම නම් අඳින්නේ සාරිය...ඒක මට ලේසියි... :)


1. ඇවිදින්න ලේසියි.2. ඇඟ පේනවා අඩුයි.
3. පොට නමන්න බැරි නම් අර පාටි වලට අඳිනවා වගේ පොට අත දිගේ දාගෙන යන්න පුළුවන්
4. සාරියට  උස වැඩියෙන් පේනවා :)

Saditha Phoenix said...

සරසවි සිසුවියක් උනත් සාරිය ගැන තියෙන අදහස ගැන දුකය..

Haritha Thilakarathne said...

 අපේ අප්පේ...සාරියක් හින්දා විදින දුකක්!

SAMEERA RUKSHAN said...

 ගෑනු සාරි අඳිනවා නම් පිරිමි ජාතික ඇඳුම ඇඳිය යුතුය... පිරිමි එකලොහේ කණුව මෙන් කලිසම් ඇඳගෙන ගැනුන්ට සාරි අඳින්නට යැයි කියති..

ඔන්න ඔහේ චාම් ඒ වගේම ඇඟට සුවපහසු ඇඳුමක් අඳින්නේ නැතුව මොකටද සාරි පටලවගෙන දඟලන්නේ? ‍

බ්ලොග් එක කාලෙකින් ලියලා නැ වගේ... මට මතක හැටියට මේක තමා මම මුලින්ම කියවපු බ්ලොග් අඩවිය... ජය වේවා ඔබට...

Naleen Dilruksha said...

අදමයි මේ පැත්තට පය ගැහුවේ. ඔන්න බලන්නකෝ වැඩේ..ලස්සන සාරි අඳින කෙල්ලක්නේ මෙතන. ඒත් සාරියට ඇය අකමැතිය. ඉස්සර මං කැමති සාරි අදින කෙල්ලන්ටය. ඩෙනිම් ඇඳගන නංගිලා ගෙදරින් එළියට යනවිට මම වලියෙන්ය. මං ඒ තරමටම සාරියට එකල ලැදිය. එහෙත් දැං මං සාරි සමග අරහංය. ඒ මගේ බිරියගේ සාරියේ කටු ගසාදීමට  මට සිදුව ඇති බැවිනි. හැට්ට කරෙන් යටට අත දා බ්‍රා පටිය ත් හැට්ටයත් එකට තමා කටු ගැසිම මහම වදයකි. අනික හදිසියකට සාරිය ගලවා ගැනීමද මට කරදර කාරි වැඩකි. එනිසා මම දැන් සාරිය හෙළා දැක ඇත්තෙමි.
ආයි එන්නම් මේ පැත්තේ හරිම ලස්සන ඉසව්වක්.
මම සමකය වටේ (samakaya wate)දුවන එකා