Tuesday, August 23, 2011

අපේ ඉංග්‍රීසි සහ Zoe Kai Psyché

ඉංග්‍රීසි කියන මාතෘකාව මේ බ්ලොග් අඩවියට නුපුරුදු එකක් නම් නෙවෙයි. මුල ඉඳලා අනං මනං ලෝකය කියවපු අයට මතක  ඇති ඉංග්‍රීසියෙන් ලියවුනු මේ ලිපිය. ඉන්පසු මෑතකදී ලියවුනා සහනිගේ ඉංග්‍රීසි ගැන. ඉංග්‍රීසි ඉගෙන ගැනීම,එහි වැදගත් කම  සහ ඉංග්‍රීසි නිසා අපේ සමාජය හිතන පතන විදිය වෙනස් වුන ආකාරය ගැන ඒ ලිපි වලින් සුළු වශයෙන් අවධානයට ලක් වුණා. ඉංග්‍රීසි ගැන තවත් ලිපියක් ලියන්න හේතු පාදක වුනේ රෝම සාහිත්‍යයේ එන ජුවෙනල් ගේ Satires හි තිබෙන එක්තරා සටහනක්.

 ජුවෙනල් ඔහුගේ Satires ලියන කාලයේ ග්‍රීක සංස්කෘතියේ සහ භාෂාවේ බලපෑම රෝමයට තදින්ම දැනුනා,  හරියට දැන් අපිට ඉංග්‍රීසියේ රස්නය තදින්ම දැනෙනවා වගේ. ඉතිං ජුවෙනල් ග්‍රීක භාෂාව සහ සංස්කෘතිය පස්සේ යන රෝම වරුන් උපහාසයට ලක් කරන්න ඔහුගේ Satires, එහෙම නැත්තම් උපහාසාත්මක සාහිත්‍ය නිර්මාණ භාවිත කළා. Satires  හි එක තැනක ජුවෙනල් කියනවා මෙහෙම.

"Our Provincial dollies ape Athenian fashion, it's smart
To chatter away in Greek - though what should make them blush
Is their slipshod Latin. All their emotions - fear,
Anger, happiness, anxiety, every inmost
Secret thought - find expression in Greek"
අපිට තේරෙන සිංහලෙන් කියනවා නම් ;

"අපේ ගම් වල ඉන්න කෙල්ලොත් දැන් ඇතන්ස් නගරයේ විලාසිතා කරන්න පටන් අරගෙන. ග්‍රීක් වලින් කතා කරන එක ලොකු ආඩම්බරයට කාරණයක් වෙලා. ඒ වුනාට ලතින් කතා කරගන්න බැරි එකට තමා ඒ ගොල්ලෝ ලජ්ජා වෙන්න ඕනේ. දැන් එයාලගේ හැම සිතුවිල්ලක්ම ;බය තරහ , සතුට, සාංකාව සහ කියන්න බැරි හැඟීම් පවා ග්‍රීක භාෂාවෙන් එළියට එනවා"
ඇතන්ස් කියන්නේ ග්‍රීසියේ ප්‍රධාන නගරයක්, ලතින් කියන්නේ රෝම වැසියන්ගේ මව් භාෂාව. මේ කතාවේ ලතින් කියන තැනට ඉංග්‍රීසි කියලා දාලා ඇතන්ස් වෙනුවට වෙන කොහෙහරි බටහිර නගරයක නමක් දැම්මොත්?

අවුරුදු දෙදහස් ගණනකට කලින් ජුවෙනල් ලියපු දේවල් අදටත් වලංගු බව හිතනකොට හරිම පුදුමයි. ඉංග්‍රීසි (හෝ වෙනත් විදේශීය භාෂා) නිසා සංස්කෘතිය සදාචාරය නැති වෙලා යනවා කියලා එදත් කියලා තියනවා, අදත් එහෙමයි, හෙටත් එහෙමයි කියලා කියලා කතාව නතර කරන්න පුළුවන්. සමහරු කියන්න පුළුවන් ශිෂ්ටාචාරයක් ඉදිරියට යෑමට නම් වෙනසක් අවශ්‍යයි කියලා. සංස්කෘතිය කෙසේ වෙතත් මේ පාඨය ඇතුලේ තව ලස්සන කතාවක් තියනවා.

"වැරදි වැරදි ලතින් කතා කරනකොට මේ කියන රෝම වරුන්ගේ මුණු රතු වෙන්නේ නෑලු"

දැන් එන්න ලංකාවට. කීයෙන් කී දෙනාද හරියට සිංහල දන්නේ? මම මේ ලියන ලිපියෙත් මම නොදන්නා වැරදි ඇති සිය ගානක්. නමුත් මම එවා ගැන හිතන්නේ නැතිව ලියනවා. වැරදි ව්‍යාකරණ සහිතව සිංහල ලිව්වා කියලා කාගේවත් මුණ රතු වෙන්නේ නම් නැති වේවි. අද කාලේ මාධ්‍ය ආයතන වලිනුත් වැරදි සිංහල ඇහෙනකොට අපි ගැන වැඩ වෙන්නේ මොකටද? නමුත් ගැටලුව මතුවන්නේ වැරදි සිංහල භාවිතා කිරීමට අපට ලැජ්ජාවක් ඇති නොවීම තුලයි. ඉංග්‍රීසි ව්‍යාකරණ වැරදීම ලැජ්ජාවක් ලෙස දුටුවත් සිංහල වැරදීම අද බොහෝ දෙනා ගණන් ගන්නෙවත් නැති තරම්. මේ තත්වයට හේතුව ලෙස මා දකින්නේ අපි සිංහල සහ ඉංග්‍රීසි භාෂා ඉගෙන ගන්න ආකාරය එකිනෙකට වෙනස් වීමයි.

අපි සිංහල ඉගෙන ගන්නේ කතා කරන එවා ඇහිලා, කියවලා සහ කතා කරලා මිසක් ව්‍යාකරණ ගැන මුලින් ඉගෙන ගෙන නෙවෙයි. නමුත් ඉංග්‍රීසි ඉගෙන ගන්න විදිය මීට වඩා වෙනස්.

ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕනේ අකුරු ලියන විදිය. බල්ලා, පුසා, ගහ , මල කියලා ලියන්න පුරුදු වෙනවා ඊළඟට. ඊට පස්සේ ඉගෙන ගන්නවා tenses ටික. ඒ නීති වලින් පිට ඉංග්‍රීසි ලියන්න කියන්න බැහැ. නීතියෙන් පිට ගියොත් ඉංග්‍රීසි වැරදියි කියලා ඔන්න අපේ මොළයට යනවා පණිවිඩයක්. එතන ඉදන් ඒ රාමුව අපිව පාලනය කරනවා. නමුත් කාටවත් මතකද අපි ගොත ගහ ගහ සිංහල කතා කරනකොට අම්මලා මෙහෙම කිව්වා කියලා.

"පුතේ අපි කියලා පටන් ගත්තොත් යමු කියලා තමා ඉවර කරන්න ඕනේ, නැත්තම් වැරදියි "

භාෂාවට අවශ්‍ය විදියට අපේ ශරීරය තුල සිංහලය වර්ධනය වුනත් ඉංග්‍රීසිය අපේ මොළය ඇතුලට යන්නේ තවත් එක නීති වලින් පිරුණ විෂයක් විදියට විතරයි. එක නීතියක් කැඩුන ගමන් ස්නායු හරහා අපිට පණිවිඩයක් එනවා "ඔන්න grammar වැරදියි. verb  එකට s එකක් එකතු කරන්න." කියලා. ඔය පණිවිඩේ ඇතුලෙම හැංගිලා තියනවා "මම වැරදියි " කියන  හැඟීම. ඔන්න දැන් මුණ රතු වෙනවා, දාඩිය දානවා, කකුල් වෙව්ලනවා, අරයා මට හිනාවෙයිද? , සර් බනිද ?ලෙඩ ගොඩයි. අපි ඔය නීති දන්නේ නැති නම්? එහෙම නැත්තම් නීති යෙන් පිට ගියොත් වැරදියි කියන මතය අපේ ඔලුවේ නැත්තම්?

අන්න එදාට අපිත් කිසි ලැජ්ජාවක් නැතිව වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරාවි. වැරදි වැරදි කතා කරන ඉංග්‍රීසි අහගෙන ඉඳලා කවුරුවත් හිනා වෙන්නෙත් නැති වේවි.

ඉතිං කොහොමද සිංහල ඉගෙන ගන්න විදියටම ඉංග්‍රීසිත් ඉගෙන ගන්නේ.  මුලින්ම කියන්න ඕනේ බහුතරයකට මේක අමාරු වැඩක්. මොකද දැනටත් අපේ රටේ ගෙවල් වල පාවිච්චි කරන්නේ සිංහල භාෂාව. ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න කියලා දෙමව්පියන් ඉංග්‍රීසියෙන් කතා කරන එක ප්‍රශ්නෙට විසඳුමක් වෙන්නේ නැහැ කවදාවත්ම. තව ව්‍යාකරණ ඉගෙන ගන්න එක නැවත්වීමත් උත්තරයක්‌ නෙවේ.

මට හිතෙනවා අපි ඉංග්‍රීසි උගන්වන විදිය පොඩ්ඩක් වෙනස් කලොත් හොඳයි කියලා. ඒ කියන්නේ ව්‍යාකරණ ගැන දෙවනුව සහ භාෂාව භාවිතය ගැන පළමුව සිතන විදියේ ක්‍රමයක්. අපි කතා කරනවා නම්, කියවනවා නම්, ලියනවා නම් භාෂාවේ ව්‍යාකරණ සහ වාක්‍ය විදි පිළිබඳව අදහසක් අපේ මනස තුල ඉබේම තැන්පත් වේවි. භාෂාව ටික කලක් මේ විදියට භාවිතා කරනකොට ඔන්න අපිට පුළුවන් ව්‍යාකරණ සහ භාෂා නීති වලට එන්න. වැරදි හදන්න ලේසියි, ඒ වගේම ගැඹුරු ව්‍යාකරණ තේරුම් ගන්නත් පහසුයි. හේතුව තමා අපි දැන් භාෂාව භාවිත කරන නිසා අපිට නොදැනීම ගැඹුරු ව්‍යාකරණ අපේ මනසේ තැන්පත් වීම. මතකද අපි සිංහල ව්‍යාකරණ ගැන හරියට ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ කාලේ කියලා. දැන් නම් ඒ තත්වය වෙනස් ද දන්නේ නැහැ හැබැයි.

ලොකු ලොකු ව්‍යාකරණ පාවිච්චි කරලා ලස්සන සිංහල වාක්‍ය ලියන්න දරුවන් පොළඹවන දෙමව්පියන් අද හරි අඩුයි. ඒ වුනාට හතර පහේ ඉන්න දරුවට ඉංග්‍රීසියේ ගැඹුරුම ව්‍යාකරණය කියලා දෙන්න මහන්සි වෙන දෙමව්පියන් නම් අප අතරේ ඕනෙවටත් වඩා ඇති. ඉංග්‍රීසි අමුතු භාෂාවක් නිසා මුල ඉඳලම හරියට ව්‍යාකරණ ඉගෙන ගන්න අවශ්‍යයි කියලා හිතන අයත් ඉන්න පුළුවන්. නමුත් මුල ඉඳලා ව්‍යාකරණයට විතරක් මුලිකත්වය දීලා ඉංග්‍රීසි ඉගෙන ගත්තම වෙන්නේ අර රාමුවෙන් පොඩ්ඩක් එළියට ආවොත් ලොකු ලැජ්ජාවක් සහ බයක් ඇති වීම. එහෙම නැත්තම් නීති වලට යටත් වෙලා ඉගෙන ගන්න තියන තවත් විද්‍යාවක් බවට ඉංග්‍රීසි පත් වීම. අද කාලේ Spoken English කියලා බෝඩ් කෑලි එල්ලගෙන ඉන්න ගොඩක් පන්තිවලත් වැඩ පටන් ගන්නේ ව්‍යාකරණ වලින්. ළමයි කතා කරන්න කලින් ව්‍යාකරණ ගැන හිතනවා නම් භාෂාවකින් සිදුවිය යුතු මුලිකම කාර්යය වත් ඉටු වෙන්නේ නැහැ.

සන්නිවේදනයෙන් එපිටට ගිය කාර්යයන් සඳහා භාෂාව භාවිත කිරීමේ ආරම්භය මෙතැන වන්නට පුළුවන් ;  නීතියට ලස්සනට ඉංග්‍රීසි කතා කරන්නේ ඉහල පැලැන්තියයි, ඉංග්‍රීසි ව්‍යාකරණ වරදවා කතා කරන්නේ ගැමියා යි. මේ විදියට ආරම්භ වෙන සමාජ බෙදීම් බොහෝ දුර යන්නට පිළිවන්. මෙවන් තත්වයක් තුල සිංහලයෙන් ටැබූ යැයි කියා හංවඩු ගැසූ මාතෘකා වුවද ඉංග්‍රීසියෙන් එළි පිට කතා කිරීමට සමාජය පෙළබෙන්නට ඇති ඉඩ වැඩියි. සිංහලයේ කුණු හරුප ඉංග්‍රීසියෙන් කිවූ විට ඇඟට නොදැනීම එක හේතුවක් වන්නට පුළුවන්. ටැබූ මාතෘකා වුවද ඉංග්‍රීසියෙන් කතා කල විට වැදගත් කමක් ඇති බැව් සමහරුන් සිතාගෙන සිටීම තවත් හේතුවක්. ඉංග්‍රීසිත්, සිංහලත් භාෂා දෙකක් පමණක්ම නම් එකම අදහස අපට දෙවිදියට දැනේනේ ඇයි? ඒ අපි තාමත් ඉංග්‍රීසිය එක්තරා විෂයක් ලෙස පමණක් දැකීම නිසාද ? එහෙම නැත්තම්  අපි තාමත් ඉංග්‍රීසි නිවැරදිව ඉගෙන නොගැනීම / භාවිත නොකිරීම  නිසාද ?


භාෂාවක් භාවිත කරන ගමන් ඉගෙනීම සහ විලාසිතාවට භාෂාවක් ඉගෙනීම නිසා වෙන ඇබැද්දි ගැන ජුවෙනල් කියන්නේ මෙහෙම ;

"when you are well over eighty,
And go around in public using phrases as Zoe Kai Psyché - 'My life , my soul!' - real bedroom language,
It's most unbecoming"
 ග්‍රීක භාෂාවෙන් Zoe Kai Psyché කියන්නේ මගේ ජීවිතය , මගේ ආත්මය වගේ තේරුමක්. මේ වාක්‍ය ඛණ්ඩය භාවිතා වෙන්නේ ග්‍රීක ආගමික වතාවත් වලදී බොහොම ගරු සරු ඇතිව. අසන්නන් වාලේ ග්‍රීක බස ඉගෙන ගත් රෝම පුරවැසියෙක් හිතනවා මේ වාක්‍ය කාණ්ඩය ඔහුගේ හිත ගිය තැනැත්තියට තම කැමැත්ත දැන් වීමට භාවිතා කරන්න. Zoe Kai Psyché  මහා හඬින් කියමින් නගරය පුරා කාන්තාවන් පසු පස ඇවිදින මහලු රෝම ජාතිකයෙක් දකින ග්‍රීක ජාතිකයෙකුට මොනවා සිතෙවිද? ඔහු අනිවාර්යෙන් සිනහ වේවි, නැතහොත් පුදුම වේවි  රෝමන්කරු Zoe Kai Psyché භාවිත කරන ආකාරය ගැන.

නමුත් රෝමන්කරු දිගටම Zoe Kai Psyché කියමින් වීදි පුරා දිව යාවි. දුවන අතර තුර කැඩුණු ලතින් වලින් ආඩම්බරයෙන් කතා කරාවි. වැරදෙන ග්‍රීක බස ගැන ලැජ්ජා වේවි...

අප සිංහල ඉගෙන ගත්තේ කාගෙවත් බලපෑමකට නොවේ. අප සිංහල ව්‍යාකරණ ඉගෙන ගත්තේ විභාගය සමත් වීමට මිස භාෂාව නිවැරදිව භාවිතා කිරීමට නොවේ. සරලව ප්‍රකාශ කරන්නේ නම්, බොහෝ ලාංකිකයින්  සිංහල ඉගෙන ගෙන නැත, අනාගතයේ ඉගෙන ගන්නේ ද නැත. සිංහල යනු ශ්‍රී ලාංකීය ජන ජීවිතය තුලින් අපට ඉබේම ලැබෙන ත්‍යාගයක් පමණි. ඉබේම ලැබෙන ත්‍යාගයක් නිසා අප එහි දිග පළල මනින්නේ නැත. වැරදුනාට හිතා වෙන්නේද නැත. ව්‍යාකරණ දන්නේද නැත. නමුත් කෙසේ හෝ කියන්නට අවශ්‍ය දේ කියාගන්නට හැකියාව ඇත. ඉංග්‍රීසි භාෂාවත් එසේ විය යුතුය. භාවිතය තුලින් ඉගෙන ගත යුතුය.



19 comments:

budhajeewa said...

හොඳම වැඩේ චිත්තරපටි බලන එක. එතකොට කඩ්ඩෙං කපන හැටි වගේම කොතන කොයි විදියට කපන්න ඕනද කියන එක ගැනත් යම්තාක් දුරට අදහසක් ගන්න පුළුවන්.

එක දවසක් මමයි ඔය ග්‍රැමරීකෘත කඩ්ඩයි ( ;) ) ඉගන ගත්තු කෙනෙකුයි අතර වාදයක් ගියා. මම මොකක් හරි එකකට "I am home." කියල කීවම මෑන් අහනවා "යකෝ උඹ කොහොමද ගෙදරක් වෙන්නේ තෝ මනුස්සයෙක්නේ?" කියලා මිනිහා කියන්නේ "I am in the home." කියලා කියන්න ඕන කියලා. නමුත් උපන්දාසිට කඩ්ඩෙං කොටන ඈයෝ "home" කියන්නේ "ගෙදර"ට මිසක් "නිවස"ට නෙවෙයි. ගෙදර කීවම අපිත් එහි කොටසක්, නිවස කියන්නේ බිත්ති, වහල, ජනෙල්-දොරවල්. ඉතිං "I am home." කීවාම "මම මා අයත්වන තැන සිටිමි" වගේ අදහසක් එන්නේ. හැබැයි "I am house" හෝ "I am a home" කිවුවොත් අර කියන මාඤ්ඤමික ගතිය මතු වෙනවා.

ඒක එකක්. අනිත් එක ලිපියෙත් කියල තියෙන්නෙ වගේ අපේ ඉංගිරිස් අධ්‍යාපනේ කතාවට මුල් තැන දීලා, ඒ කතාවට පසුබිම් වූ පරිසරය ගැනත් අවබෝධයක් දීලා උගන්නනන ඕන දෙයක්. අච්චුපොත් වල ගහපු අකුරු කෑලි වලිං ඒ වැඩේ කරන්න බෑ. පොත් වල පිටු පිරවීම ඉගැන්වීමයි කියන ගුරුහොරු එක්ක ඒක කරන්නත් බෑ.

Buddie Chandradeepa Kurera said...

ඩීප්ස් ගේ මේ ලිපිය කියවගෙන යද්දි හිතට ආපු දේවල් ගොඩයි. මට පුලින්ම මතක් වුනේ 7 වසරේ ඉද්දි කරපු විවාදයක්. මාතෘකාව හරියටම මතක නැති වුනත් සිංහල හා ඉංග්‍රීසි අතර වැදගත්කම තමා විවාදයට බදුන් වුනේ. 
මම තාමත් දරණ මතය වෙන්නේ මේකයි, මේක ඉතා දීර්ඟව කියන්න ඕනේ දෙයක් ඒත් කෙටියෙන් කියන්නම්.
අත්තටම මේ සිංහල, ඉංග්‍රීසි දිහා බලන්න ඕනෙත් සැපයුම හා ඉල්ලුම දිහා බලනවා වගේ තමා. වෙනත් ජාතීන් ගොඩකට යටත් වෙලා ඉදලා බෙලහීන තත්වයට පත් ව්එලා හිටපු අපේ මුතුන් මිත්තන්ට නිදහස හම්බුනා කියලා ජාතික අභිමානයක් ආවේ නෑ. ඒ වෙනුවට හැමදාම වගේ පිටින් ආපු දේ බදාගත්තා. ඒක නිසා ඉංග්‍රීසි කතා කරන පැලැන්තිය උසස් වුනා. මේකට තවත් හේතුවක් වුනේ ඉංග්‍රීසි පාලනය කාලේ ඉංග්‍රීසි  කතාකරන පැලැන්තියට වැඩි සැලකිලි ලැබීමයි. ඉතින් නිදහසින් පස්සේ වුනත් ඉංග්‍රීසි  නැතුවම බැරි වුනා. 
ඇත්තටම භාෂාව භාවිතා කරන්නන්ගේ මට්ටම අනුව සැකසෙන දෙයක්. මූලික හරය අදහස් ප්‍රකාශ කිරීම. ඒත් ඊට ඉහලට යද්දි සාහිත්‍යය කටයුතු දිහාවට හැරෙද්දි තමා ඔය ව්‍යාකරන කියන දේ එන්නේ. දැන් හැමෝම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ ඒක නැතුව ජොබ් එකක් කරන්න බැරි නිසා. සිංහල භාවිතා කරන්නේ එදිනෙදා ජීවිතයට විතරයි. රජයේ ඇරෙන්න අනිත් එක තැනකවත් මම සිංහල බිස්නස් ලිපියක් දැකලා නෑ. ඉතින් අපි සිංහල ලියන් නැති නම් ඇයි ව්‍යාකරණ ගැන වදවෙන්නේ. (කතා කරන්න සම්පූර්ණ ව්‍යාකරණ භාවිතා කරන්න බෑ, ඕනෙම භාෂාවක එහෙමයි)
හැමදේම කෙටි කරන කාලේක අපි ඉන්නේ ඉතින් ඒක නිසා අඩුම ගානේ ඉංග්‍රීසි කතා කරද්දි වුනත් අපි හරි ව්‍යාකරන දාලා කතා කරන්නේ නෑනේ. නමුත් ලියද්දි එහෙම බෑ. ඒක නිසා නිරන්තරයෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ වලට අපේ හිත යනවා. භාවිතා නොකිරීම නිසා සිංහල ව්‍යාකරණ නැතිවෙලා යනවා. 
සිංහල ද ඉංග්‍රීසි ද වැදගත් කියලා තර්ක කිරීම වැඩක් නෑ, එක එක තැනට එක එක භාෂාව ඕනේ වෙනවා. 
අපි පොඩි කාලේ ලතින් වලින් තමා ඔරසන් කිව්වේ ඒත් පස්සේ ඒක වෙනස් වුනා, මම ලබන කාලේ ඔරසන් පාඩම් දෙන්න වුනේ ඉංග්‍රීසි වලින්. ඒක නිසා ලතින් ඔහොම්ම අමතක වුනා. ඒ ලතින් ගැන ඉල්ලුමක් ඇති නොවිච්ච හින්දා. ලෝකේ ඉංග්‍රීසි වලට වඩා භාවිතා කරන Spanish (සිංහලෙන් ලියන්න බෑ :( ) ඉගෙන ගන්න කාටව ඕනේ නෑ, මොකද ලංකාව ඇතුලේ වදගත් කමක් නෑ. 
ඔන්න ඕකයි ඇත්ත. 
වෙන්න ඕනේ මෙච්චරයි, සිංහල අපේ භාෂාව කියන එක හිතේ තියාගන්න ඕනේ. ඒකට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි තවත් එක භාෂාවක් විතරයි.
මට තේරෙන්නෑ ඉංග්‍රීසි කතා කරන එක ඔය තරම්ම ලොකු දෙයක් වෙන්නේ කොහොමද කියලා. ඒක ඉතින් මිනිස්සු හිතන පතන දේ. අද ඉංග්‍රීසි දැන ගත්තා කියලා කරන්න පුලුවන් කජ්ජක් තියෙනවද? අනිත් කුසලතා නැතිව. ඕක සමාජය ටිකෙන් ටික තේරුම් ගන්නවා මම හිතන්නේ.
ඉංග්‍රීසි කතාකරද්දි ව්‍යාකරන වැරදෙන එකනම් ඇත්තටම කියාපාන්නේ භාවිතයේ අඩුකම. He වලට පස්සේ verb එකට s එන්න ඕනේ ආයාසයක් නැතිව. අන්න එතකොට තමා තේරෙන්නේ මේ මිනිහා ඉංග්‍රීසි  භාවිතාකරන කෙනෙක් කියලා. ඉතින් මිනිස්සු බය වෙන්නේ වැරදුනාම (ඔය වගේ සුලු වැරදි) අනිත් කෙනාට ඕක තේරෙන නිසා. නැතුව වෙන දෙයක් නෙමේ. 
නිතර කියවන කෙනෙක්ට ස්පෙලින් මතක හිටින්නේ පුරුද්දට කතා කරන එකත් ඒ වගේ.

indika Ari said...

100% එකඟයි නංගා!
හොඳ ලිපියක්

indika Ari said...

හරියට හරි යාලු......

Buddie Chandradeepa Kurera said...

 I am home කතාව ටිකක් ෆිල්ම් වල එන කතාවක් තමා, මෙහෙම දේකුත් තියෙනවනේ http://en.wikipedia.org/wiki/Heil_Honey_I'm_Home!
මොනාවුනත් home වලට ඉස්සරහින් the දාන්නේ නෑනේ in home කියන්නෙත් නෑ at home මිසක්,
සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කිව්වම ඔහොම වෙනවා. :) බලන් යද්දි අර ග්‍රමීකෘත කඩ්ඩා හෙන පචයක්නෙ බං කියලා තියෙන්නේ :P
ඔන්න ඕක තමා මම කමෙන්ට් එකෙන් කිව්වේ, කවෘ හරි කතා කරද්දි ඔය වගේ මිස්ටේක් එකක් කලොත් දැන ගන්න පුලුවන් එකම දේ වෙන්නේ මිනිහ ඉංග්‍රීසි පොතෙන් ඉගෙනගෙන මිසක් කතා කරන කෙනෙක් නෙමේ කියලා. නිතර භාවිතා වෙන කෙනෙක්ට ඔය වගේ වැරදි ජීවිතේටවත් වෙන්නෑ.
ඕය home එකයි house එකෙයි වෙනස ගැන කියන කවිය මතකද(OL Lit)? 

budhajeewa said...

 සමහර විට මෑන්ට කියන්න ඕන වෙන්න ඇතතේ "මම ගෙදර ඇතුලේ ඉන්නවා." කියලා වෙන්න පුළුවං. සිංහලෙං උනත් එහෙම කිවුවම මාඤ්ඤමිකයි නෙ. බලන්න:

1. "මචං උඹ කොහෙද?" - "මම ගෙදර බං".
2. "මචං උඹ කොහෙද?" - "මම ගෙදර ඇතුලේ ඉන්නේ බං."

අපි සාමාන්‍යයෙං කියන්නේ කොහොමද?

මෙහෙම ඇහුව වෙලාවක නං අවුලක් නෑ, හිතන්න ගෙදර ගොඩක් අය ඉන්න කලබලකාරී උත්සව අවස්ථාවක් වගේ දෙයක්:

"හරි හරි, උඹ හරියටම කොතනද ඉන්නේ?" - "මම ගෙදර ඇතුලේ ඉන්නේ බං."

---

OL වල‍ට  Lit කළා නං තමා. බට් මොකක්ද ඔය, මට මතක නෑ නොව.

Buddie Chandradeepa Kurera said...

ඇයි බන් අර යුද්ධෙට ගිහින් එද්දි පොර අහනවා කෝ මගේ හෝම් එක කියලා පස්සෙ එකෙක් කියනවා හවුස් ඉස් ඔවර් දෙයා කියලා :)

මට මතක නෑ චයිනීස් එකක් වගේ තමා මතක

messenger said...

ඉස්සෙල්ලම ඉංග්‍රිසි සර් කෙනෙක් අපේ ඉස්කොලෙට එනකොට මම උසස් පෙල පංතියේ..ඊට කලින් ඉස්කෝලෙට ආපු ගුරුවරැ 1කෙනෙක් වත් මාසෙකට වඩා අපේ ඉස්කෝලෙ ඉදලා නෑ. උසස්පෙල පංතියේදි ඉංග්‍රිසි සර් ප්‍රශ්නයක් අයලා බැරි උනොත් සවුත්තුව නිසා
මමයි තව යාලුවො 2න‍් නෙකුයි කවදාකවත් පංතියෙ හිටියෙ නෑ. මාස 5-6ක්ම ඉංග්‍රිසි කට් කරලා දවසක් මට හිතුන පංතියෙ ඉන්න ඕන ඕන දෙයක් වෙද්දෙන් කියලා.. මම එදා පංතියෙ හිටියා..ඔන්න සර් ඇවිත් ආ.. මො‍කෝ මේ පංතියේ කරන්නේ..
යනව යනවා තමන්ගේ පංතියට කියලා කිව්වා.. නෑ සර් මමත් මේ පංතියෙ කියලා කියන්න කලින් පංතියේ ඉදපු කෙල්ලොයි කොල්ලොයි බඩ අල්ලගෙන හිනා වුනා. මොනවා කරන්නද? පොත් ටික ගත්තා එලියට ගියා. එදත් හරි ආයේත් කිසි දවසක හීනෙන්වත් ඉංග්‍රිස පංතියකට ගිහින් නෑ. ඉංග්‍රිසි නැතිව ජොබ් එකක් හොයාගන්න බැරි බව තේරැන නිසා කඩෙන් පොත් අරගෙන තනියම කියවලා ඕලෙවල් ඉංග්‍රිසි සී කට්ටක් දා ගත්තා උසස් පෙල කරාටත් පස්සෙ. එදා ඉදන් එච්චරම තමායි.. ගොඩ වරද්ද වරද්ද හරි මට කතා කරන්නත් ඒ කරන වැරදි හදා දෙන්නත් අහගෙන ඉන්න හරි කතා කරන්න හරි (සවුත්තුවට හිනා නොවී) හරියට  ඉංග්‍රිසි දන්න කෙනෙක් ඉන්නවනම්..විනාඩි 10ක් හරි දවසකට කතා කරන්න...කියලා හිතෙන වාර අනන්තයි.. 
ඇතාවැටුන වැවෙ ඉදන් මෙච්චර දුන ආව එකත් මදැයි කියලා හිත හදා ගන්නදෝ කියලා හිත හිත ඉන්නවා.

චතුර said...

ඇත්ත..100%ක් ඔබ සමඟ එකඟයි..

Wajira Somarathne said...

හැමදාම වගේම ඩීප්ස් ගේ ලිපි බොහෝ දේ අපේ ජීවිතයට කියල දෙනව... මටත් ලඟදි දවසක කෙනෙක් කියුව බ්ලොග් එක කතාකරන බසින් නොලියා ලිඛිත බසින් ලියන්න කියල... මමත් උත්සාහයක් ගත්ත.. නමුත් හරිම අමාරුවෙන් තමයි වක්‍යයක් උනත් ගැට ගහ ගත්තේ... ව්‍යාකරන ඔක්කොම අමතක වෙලා ගිහින්... ඉස්සර පාසලේදි සිංහල රචනා / විචාර ලියද්දි භාවිත කරපු සිංහල අද අපෙන් ඈත් වෙලා... මට මම ගැනම දුක හිතුනා....  

deeps said...

හිතට ආපු දේ ලියලා ගිය හැමෝටම ස්තුතියි. ගොඩක් හිතන්න ජාති මේ ප්‍රතිචාර වල තියනවා. මේවාට ඒක වැකියකින් දෙකකින් පිළිතුරු දීම ප්‍රතිචාර දැක්වූ ඔබගේ උත්සාහය නිසි ලෙස අගය නොකිරීමක්. මේ දිනවල මානසික තත්වය මෙවන් ගැඹුරු ප්‍රතිචාර වලට පිළිතුරු දීමට තරම් හොඳ නැහැ..... ඉක්මනින්ම පිළිතුරු දෙන්නම් හැමෝටම. තරහ වෙන්න එපා පිළිතුරු ප්‍රතිචාර ප්‍රමාදවීම ගැන 

änthräX . said...

සම්පූර්ණයෙන්ම එකගයි කියලා තියන කතාවට. අපිට තියන ලොකුම අවුල තමා ඉංගිරිසියෙන් කියන එක හරියටම නීතියට රීතියට කියන්න උවමනා එක. පොඩිකාලෙ ඉදලා පුරුදු කෙරවෙන ඔය වැරදි ආකල්පය නිසා උපතින් කඩුසටන්කාරයො එක්ක කොටාගන්න යනකොට ඇතිවෙන අවුල් ගැන කියලා ඉවර කරන්න බෑ. භාෂාවක් පාවිච්චි කරන්නෙ තමන්ගෙ අදහස් අනිත් අයට දැනෙන්න සලස්වන මාධ්‍යයක් විදිහට. ඒක පාවිච්චි කෙරෙනකොට කාලයත් එක්ක අලුත් වචන, භාවිතා කෙරෙන විදි අලුත් වෙනවා. හිතේ තියන දේ කියන්න මිසක් නීති ගැන හිත හිත වදවෙන්න නෙමයි භාෂාවකන් තියෙන්නෙ.

deeps said...

අපි කරපු සිලබස් එක නෙවේ මේ පොඩි එවුන් කරන්නේ :)

deeps said...

මේක තේරුම් ගන්නේ බොහොම සුළු පිරිසක් විතරක් වීම තමා අවුල 

deeps said...

මටත් ඔය වැඩේ වෙලා තියනවා අනන්තවත්. සමහර වෙලාවට ලියන භාෂාවෙන් කොටන්න පටන් ගත්තට ඉවර වෙන්නේ කතා කරන භාෂාවෙන්. එක්කෝ ලියන භාෂාවෙන් ලියන්න ගත්තම වචන එන්නේ නැහැ වගේ එක එක ප්‍රශ්න. අනේ දෙවියනේ!!

deeps said...

හිතට දිරිය අරගෙන තවත් ඉස්සරහට යමු. කරන්න පුළුවන්!! http://deepsgelokaya.blogspot.com/2011/08/blog-post.html ලිපිය කියවලා බලන්න පුළුවන් වෙලාවක. ඔයා විතරක් නෙවෙයි තව ගොඩක් දෙනෙක් මේ බෝට්ටුවේම තමා.

deeps said...

"මට තේරෙන්නෑ ඉංග්‍රීසි කතා කරන එක ඔය තරම්ම ලොකු දෙයක් වෙන්නේ කොහොමද කියලා." - බුඩි පොඩි කාලේ ඉඳලා හැදුනු වැඩුණු පරිසරය නිසා වෙන්න ඇති. බුඩිම කියලා තියනවනේ සුද්දා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අයට වැඩි තැනක් දුන්නා කියලා. ඉතිං ඉංග්‍රීසි බැරි අය ඉංග්‍රීසි දිහා බැලුවේ මහා ලොකු නිධානයක් විදියට. ඒ අදහස පරණ අය ළඟ තාම තියනවා.
"අද ඉංග්‍රීසි දැන ගත්තා කියලා කරන්න පුලුවන් කජ්ජක් තියෙනවද? "
සමහර ආයතන වලින් වැඩක් කරගන්න ගියාම කඩ්ඩ දානවා නම් වැඩ ඉක්මන්.

" He වලට පස්සේ verb එකට s එන්න ඕනේ ආයාසයක් නැතිව. අන්න එතකොට තමා තේරෙන්නේ මේ මිනිහා ඉංග්‍රීසි  භාවිතාකරන කෙනෙක් කියලා."

ඔව් මේක තමා වෙන්න ඕනේ 

deeps said...

බයිස්කෝප් බලන එක නම් ඉතාමත් වැදගත් දෙයක් ඉංග්‍රීසි ඉගෙනගන්න."ග්‍රැමරීකෘත කඩ්ඩ" මරු වචනේ !

මොනවා වුනත් පොතේ විදියට ඉංග්‍රීසි ඉගෙන ගත්තම වෙන අවුල තමා ඔය. තව උදාහරණයක් කියන්නම්. අපේ බැච් ඒකෙ ඉන්නවා ඉංග්‍රීසි විශේෂ උපාධිය කරන කෙනෙක්. එයා නිකං කතා කරනකොටත් පාවිච්චි කරන්නේ දිගම දිග වාක්‍ය. ඒවා ලියනකොට නම් හොඳයි. ඒ වුණාට කතා කරනකොට හෙන අවුල්.

deeps said...

සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කියන එක තමා ව්‍යාකරණ වැරදෙන්න මුලික හේතුව :)