Wednesday, August 31, 2011

විභාග අස්සේ හිතෙන විකාර - බුද්ධි පරීක්ෂණ

සරසවියේ අවසන් විභාගය හොඳටම ළඟ නිසා මේ දවස් වල එක එක හීන පේනවා. විකාර දේවල් හිතෙනවා. එහෙම හිතුනු විකාරයක් තමා මේකත්.

විකාරේ මේකයි. දැන් ඔන්න උපාධිය ඉවර කරලා අපි යනවනේ රස්සා හොයන්න. ඔය සමහර රස්සා තියනවා උපාධියක්  තියන ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්. ඒක කලා වුනත්, ඉංජිනේරු වුනත්, කෘෂිකර්ම වුනත් ඔක්කොම සලකන්නේ එක මට්ටමෙන්. උදාහරණයක් විදියට බැංකුවල කළමනාකාර රැකියා, තව ආණ්ඩුවේ දිසාපති වගේ තනතුරු. අපේ මාමා කියන විදියට ආදී කාලේ කලා විෂයන් විශ්ව විද්‍යාලයට ඇතුල් කලේ ආණ්ඩුවේ පරිපාලන කටයුතු වලට ඒ කලා උපාධිකාරයෝ ටික දාගන්න අදහසින්ලු. සුද්දා එහෙම හිතුවේ   මිනිස්සු ගැන දන්න අය සහ මානුෂීය හදවත් තියන අය මිනිස්සු පාලනය කරන තනතුරු වල ඉන්න අවශ්‍ය නිසාලු. සුද්දට අනුව කලා විෂයන් හදාරන අය තුල මානුෂීය හැගීම් වැඩිලු. මිනිසාගේ සැඟවුණු සිතුම් පැතුම් එයාලට තේරුම ගන්න පහසුයිලු. "ලු" ප්‍රත්‍ය එකතු කළේ මාත් ඔය කතාව අහලා තියෙන්නේ "ලු" ප්‍රත්‍ය එක්ක නිසා.

හරි ඒ කාලේ එහෙමයි කියමුකෝ.

දැන් කාලේ කොහොමද?

ඉංජිනේරු උපාධි ගහපු අය ඉන්නවා දිසාපතිලා වෙලා, ගණිතය විශේෂ උපාධි කරන අය ඉන්නවා බැංකු වල, කෘෂිකර්මය උපාධි තියන අය ඉන්නවා ප්ලාස්ටික් කම්පැනි වල ලොක්කෝ වෙලා. හරි, දක්ෂතාවය තියන නිසා ඒ වගේ තැන්වලට අදාළ අය ගියා කියමු.

දැන් කොහොමද ගොඩක් ආයතන වල ලොකු ලොකු පුටුවලට කස්ටිය ගන්නේ?

එකක් ඉන්ටවීව්, ඒ ගැන ලිව්වා කියලා හීනෙන් වගේ මතකයි. අනික් එක තරඟ විභාග. ඔය තරඟ විභාග කියන්නේ ඉතින් කලා විෂයන් හදාරණ අයට මැජික් වගේ ගොඩක් වෙලාවට. ඇයි අනේ ගොඩක් වෙලාවට පටන් ගත්ත වෙලාවේ ඉඳං ඉවර වෙනකන් ගණන්නේ. උසස් පෙළ සිට විශ්ව විද්‍යාලය දක්වා සාහිත්‍ය විචාර ලියලා එක පාරට ඔය වගේ විභාගෙකට ලිව්වම හොඳ ගණන් ඉතින්. අන්තිමට ඉතින් රස්සාව යන්නේ ගණිතය උසස් පෙලට කරලා, විශ්ව විද්යාලෙත් ඒවම  කරන අය.

අනිත් ප්‍රශ්නේ තමා ඔය විදිය විභාගයකින් විතරක් පුලුවන්ද දක්ෂයෙක් හොයාගන්න? රස්සාවට තෝරාගැනීමේ පළවෙනි පියවර විභාගයක් නම් එතනින් ගොඩක් දක්ෂයෝ හැලෙන්න පුළුවන්.




දැන් එක එක්කෙනාට ප්‍රශ්න මතුවේවි....එහෙම ඇතිවෙන ප්‍රශ්න සහ ඒවාට මගේ පිළිතුරු මෙන්න.


  • ගණන් ඕනේ හැම තැනටම - ඔව් ඕනේ තමා, එත් ගණන් විතරක් පාදක කරගෙන කස්ටිය තෝරන එක පොඩ්ඩක් අවුල් නේද? අනික විවිධාකාර විෂයන් ඉගෙන ගත්ත අය ලියන විභාගයක් නම් ගණිතය ඉගෙන ගත්තු අයට මේ විදිය විභාග ගොඩක් වාසියි. මම අහලා තියන විදියට නම් ගොඩක් විභාග වල වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ගණිතය ආශ්‍රිත ප්‍රශ්ණ.
  • කලා විෂයන් ඉගෙනගත්තා කියලා ගණන් බැරි වෙන්න විදියක් නැහැ. ඒ වගේ පේපර් වල තියෙන්නේ බුද්ධි පරීක්ෂණ මිසක් ගණන් නෙවෙයි - කතාව ඇත්ත, එත් ඉතින්, තියන වෙලාවත් එක්ක අමාරුයිනේ ඉක්මනට ගණන් හදන්න. කොටින්ම කිව්වොත් ඉලක්කම් එක්ක ඔට්ටු වෙන්න කලා විෂයන් කරන ගොඩක් දෙනෙකුට සාමාන්‍ය වෙලාවට වඩා වැඩි වෙලාවක් යනවා. උසස් පෙළ ඉඳලා විශ්ව විද්‍යාල ජීවිතය අවසන් වෙනතුරු ගණිතය, ජීව විද්‍යාව වගේ විෂයන් එක්ක ගැටුණු කෙනෙක්ට කවියක විචාරයක් ලියන්න කිව්වොත් විනාඩි  10 කින්, කීදෙනෙක් ලියාවිද?
  • හොඳ වැඩේ කලා විෂයන් ඉගෙන ගත්තට - පුළුවන් දේනේ කරන්නේ ඉතින්, ලංකාවේ හැමෝම ඉංජිනේරුවෝ වුණොත්, එයාලා නිර්මාණය කරන රොබෝට්ටා මාකට් කරන්නේ කවුද?
  • ඕක ඇවිල්ලා තරගය - තරගය තමා, එත් ඉතිං ඕනෙම උපාධියක්‌ තියනවා නම් ඉල්ලන්න පුළුවන් කියන රැකියාවලට මොකටද ඉන්ජිනේරුවෝයි, විද්‍යා උපාධි කාරයොයි ඉල්ලන්නේ? අපරාදෙනේ ආණ්ඩුව එයාලා වෙනුවෙන් වියදම් කරපු සල්ලි සහ එයාලා අවුරුදු ගානක් මහන්සිවෙලා ඉගෙන ගත්ත දේවල්. 
දැන්වීම: මේවා විභාගය අවසන් වනතුරු ඔලුවට එන විකාර බැව්  කරුණාකර සලකන්න.

35 comments:

11 said...

hehe kauda halo aanduwe rassawalata yanne :D

Buddie Chandradeepa Kurera said...

මේකයි ගණිතය ගැන පරික්ෂාකරන්න්නේ ගණිත හැකියාව තියෙනවා කියන්නේ ඒ ගොල්ලන්ගේ විශ්ලේෂණ හැකියාව වැඩියි කියන එකයි. ඒක නිසා තමා ඔය බුද්ධි පරීක්ෂණ කියන දේ අදාල වෙන්නේ. මෙතන වුනේ කලා විෂයන් වලට වැඩි පිරිවැයක් යන්නැති නිසා ආන්ඩුව වි,වි. වලට ගන්න කස්ටිය වැඩි කරන්න කලා උපාධි භාවිතා කරපු එක. ඇත්තටම ලංකාවට අවශ්‍යයය නැති තරමට කලා උපාධි වැඩි වෙලා, මේ නිසා විරැකියාව වැඩි වෙලා. ඇත්තටම කලා උපාධියක් විතරක් තියෙන කෙනෙක් ගේ විශ්ලේෂණ හැකියාව ඉතාමත් අඩුයි. මම කියන්නේ සමස්තයක් විදිහට. (මම මේක අත්දැකීමෙන්ම දන්න නිසා බයක් නැතිව කියන්න පුලුවන්, ඒ වගේම හොද දක්ෂයෝ ඉන්න බවත් කියන්නම ඕනේ ඒත් ඉතින් බහුතරය) ඉතින් මේකට තියෙන විසදුම

1) ගනිත විෂයක් උපාධියට එකතු කරලා විශ්ලේෂණ හැකියාව වැඩි කරන එක.2) කලමණාකරණය වැනි විෂය එකතු කරන එක.
3) ද්වි උපාධි වැඩසටහන් හදුන්වා දීම
මාත් කලා විෂයන් වලට හරි ආසයි ඒත් ඉල්ලුමට හරියන සැපයුම දෙන්න වෙනවා අපිට. තව දෙයක් මොන උපාධිය තිබුනත් හොද රැකියාවක් හොයා ගන්න අනිවා පුලුවන්. ඒක රදන්නේ පුද්ගල දක්ෂ තාව මත නැතිව ඉගෙනීම මත නෙමේ. ඒ කියන්නේ බුද්ධිමට්ටම මත.

""""උසස් පෙළ ඉඳලා විශ්ව විද්‍යාල ජීවිතය අවසන් වෙනතුරු ගණිතය, ජීව විද්‍යාව වගේ විෂයන් එක්ක ගැටුණු කෙනෙක්ට කවියක විචාරයක් ලියන්න කිව්වොත් විනාඩි  10 කින්, කීදෙනෙක් ලියාවිද?"""" = කවියක විචාරය කියන දේ ඇත්තටම වැදගත් දෙයක් නෙමේ, ඒත් ආයතනයේ වැඩ කරද්දි ක්ෂනික තීරණ ගන්න ඕනේ අන්න ඒ හැකියාවයි මනින්න ඕනේ. ඒ කියන්නේ ඉහල අයි. කිව්. එකක් ඕනේ. කවියක විචාරය ඒ වගේ දෙයක් නෙමේ.

""""ඕක ඇවිල්ලා තරගය - තරගය තමා, එත් ඉතිං ඕනෙම උපාධියක්‌ තියනවා නම් ඉල්ලන්න පුළුවන් කියන රැකියාවලට මොකටද ඉන්ජිනේරුවෝයි, විද්‍යා උපාධි කාරයොයි ඉල්ලන්නේ? අපරාදෙනේ ආණ්ඩුව එයාලා වෙනුවෙන් වියදම් කරපු සල්ලි සහ එයාලා අවුරුදු ගානක් මහන්සිවෙලා ඉගෙන ගත්ත දේවල්. """"" මෙන්න මේ කතාවට මම තරයේ විරුද්ධයි.

මට ත් මේ දවස් වල එක්සෑම් නේ ඒක නිසා මෙතනින් නවතිනවා

Hdcmaduranga said...

විභාගෙට පාඩම් කරනකොට නංගිටත් මට වගේම එක එක දේවල් හිතනවානේ . මාරයි !!!!

මෙහෙමනේ නංගි ගණන් වල තියෙන්නෙන් තර්ක කරලා උත්තර ගන්න සින් එකක්.
තර්කානුකුල හැකියාව තමයි ගණන් වල බලන්නේ. අනික සාමාන්‍ය පෙළ ගණන් වලින් ඔය
ඉන්ටර්විව් ගොඩ දාගන්න පුළුවන්.

Weni said...

පහු ගිය සැරේ පරිපාලන සේවා විභාගයට ලියල තේරුනු අයගෙන් වැඩිපුරම ප්‍රතිශතයක් ඉන්නෙ සයන්ස් සබ්ජෙක්ට්ස් කරපු අය.. ඊට ඉස්සෙල්ල හැම අවුරුද්දෙම වැඩිපුර ප්‍රතිශතය ඉන්නෙ කලා, වාණිජ කරපු අය තමයි..ඔය බුද්ධි පරීක්ශණ ප්‍රශ්න පත්‍රය සයන්ස් කරපු අයට ගේමක් නැහැ.. ඒක හේතුවක් වෙන්න ඇති..

ඉන්දික said...

he..he..ලංකාවේ හැට් නොවැ...
ඇයි කොළඹ කෙනාට රස්සාව හම්බෙන්නෙ නුවර. නුවර මනුස්සයට කොළඹ!

දේවා ගේ අඩවිය said...

සහතික ඇත්ත.... ඒත් ලංකාවේ විතරක් නෙමේ මම හිතන්නේ ලොකේම තත්වේ ඔකම තමා.. ඒත් ඉතින් වෙනස් වෙන එක ගැන කියන්න කාලයක් යයිනේ.. ඊට කලින් ගනන් ටිකක් හදන එක තමා කරන්න වෙන්නේ

හා හා ඒවා ගැන පස්සේ හිතමු.. දැන් ඔය විභාගේ පාස් කරගෙන ඉමුකෝ
ජය වේවා

Nalini said...

ඇත්ත. හුඟක් වෙලාවට රැකියාව කරන්න වෙන්නෙ ඉගෙන ගත් විෂයට සම්බන්ධව නෙවෙයි. තෘණ වර්ග ගැන පශ්චාත් උපාධි ගත් අය වැඩ කරන්නෙ සිමෙන්ති කොම්පැණිවල.
ලද අධ්‍යාපනයට සරිලන රැකියාවක් නොලැබේනම්, අර අධ්‍යාපනයට වැය කළ කාලය, මුදල සේරම අහක. ඒ විතරක්යැ. අර මනුස්සයගෙ හැකියාව, දක්ෂතාවය වතුරෙ. ඊට පසුව කරන්නට වෙන්නෙ තමන් අකමැති ක්ෂේත්‍රයක රැකියාවක්නම්, ඉන් ලද හැකි තෘප්තියක් වේද?

Luckey said...

මම හිතන්නේ උපාධියට ඉගෙන ගත් දේ රැකියාවෙදි භාවිතා කරන්නෙ ක්ෂෙත්‍ර කිහිපයකදි විතරයි.අනෙක් හැමතැනකදිම වැදගත් වෙන්නෙ උපාධිය සහතිකය විතරයි.මම කියන්නෙ ඒක හරි කියලා නෙවෙයි. ඒත් ඒක තමයි වෙන්නෙ.
.එතැනදි තර්කාණූකුල බව , විශ්ලේෂණ හැකියාව වගේ දේවල් ගණිතමය සංකල්ප වලින් මනින පර්‍රික්ෂණය වලදි ගණිත විෂයයන් හැදෑරූ කෙනෙකුට විශේෂ වාසියක් ලැබෙනවා..ඒක ඇත්ත..
හැබැයි ඔබ "ලු " ප්‍රත්‍යයත් එක්ක කියන සමහර දේවල් වලට නම් එකඟ වෙන්න බැහැ. ඔය විද්‍යා පීඨ වල, වෛද්‍ය පීඨ වල එහෙම නැත්නම් ඉන්ජිනේරු පීඨ වල තියන කළා කටයුතු දැක්කම එතැන අඩුවකට තියෙන්නෙ ශ්‍රාස්තීය දැනුම විතරයි,.ඒ හෑර මානුශික  හැඟීම් කියන දේ නම් කළා පීඨ වලට විතරක් සුවිශේෂ දෙයක් නෙවෙයි. උදාහරනත් තියනවා , ඒත් මෙතන දෙබර වලට ගල් ගහන තැනක් නෙවෙයිනෙ.. 
අනිත් එක මාකටින්...හප්පේ..සමාවෙන්න මෙහෙම  කියනවට..ඉන්ජිනේරුමය නිශ්පාදන  වල මාකටින් පැත්තත් දැන් දැන් ඉන්ජිනේරුවන් විසින්ම කරන ප්‍රවණතාවයක් තමයි තියෙන්නෙ..ඔබ අවට ඕන තරම් උදාහරණ ඇති..

විසිතුරු සටහන් said...

අපි ලබන අධ්‍යාපනයට සරිලන ‍රැකියාවක් ලබා දීමට කාගෙවත් වගකීමක් නෑ. නමුත් මගේ මතය නම් ඉල්ලුමට සරිලන සැපයුමක් සරසවි වලින් ලබා දිය යුතුයි... මේ කාරණය හා සම්බන්ධ සේයා රුවක් මගෙ බ්ලොග් අඩවියේ තියෙනවා...
http://visituru.blogspot.com/2011/07/blog-post_03.html

Thameera said...

ආණ්ඩුවෙ රස්සාවලට නම් ඉතිං නොයන තරමට තමයි හොඳ. 

Gehan Chandika said...

මටත් කරන්න තියෙන හැම වැඩක්ම මතක් වෙන්නෙ විබාගෙ ලං වුණාම තමයි. :D

Niroshini Fernando said...

ඔව් ඔයා කියන කතාවේ එක්තරා ඇත්තක් තියෙනවා. පරිපාලන සේවයට ඉහල ගණිත හැකියාවන්ගෙන් ඇති ප්‍රයෝජනය අල්පයි. මම මේ කියන්නේ ඉන්ජිනේරුවෙක්ට තියෙන ගණිත හැකියාවන් පරිපාලනයට අනවශ්‍යයි කියන එක. අනිත් එක ගණන් හදන්න පුළුවන් පමණින් වානිජ්‍ය ධාරාවට අයිති බැංකුකරණයේ දක්ෂයෙක් වෙයි කියල කියන්නත් බැහැ. හොඳම උදාහරනේ මම - උසස් පෙළ ගණිතයට A සාමාර්ථයක් තිබුනත්, සාමාන්‍ය පෙලදී ගිණුම්කරණ යට මම ගොඩක් දුර්වලයි. කවදාවත් ගිණුම සම වෙන්නේ නැහැ.
//කලා විෂයන් ඉගෙනගත්තා කියලා ගණන් බැරි වෙන්න විදියක් නැහැ. ඒ වගේ පේපර් වල තියෙන්නේ බුද්ධි පරීක්ෂණ මිසක් ගණන් නෙවෙයි //
දීප්ස් කිව්වා වගේම, විද්‍යා ගණිත ධාරාවල තර්කන ශක්තිය, බුද්ධිය මෙහයවා කරන ගැටළු විසඳීම තමා මුලිකවම තියෙන්නේ. ඉතින් ඒවලට පුරුදු කෙනෙක්ට, තමන්ට වඩා වැඩි හෝ සමාන බුද්ධියක් ඇති කලා විෂය ඉගෙනගත් ළමයෙක්ව පරදවන්න පුළුවනි.
මාත් හිතන්නේ බුද්ධි චන්ද්‍රදීප කිව්වා වගේ බුද්ධි පරීක්ෂණ තියන්නේ යම් ප්‍රශ්නයක් විසඳීමේ හැකියාව බලන්නයි. නමුත්, අද රාජ්‍ය සේවය බැලුවාම, ඒවායේ වැඩ කෙරෙන හැටි බැලුවාම, මේ ක්‍රමය අසාර්ථකයි කියල හැඟෙන්නේ. බුද්ධිය විතරක්ම තිබිලත් මේ වගේ රස්සාවලට මදි. මිනිස්සු එක්ක වැඩ කරන හැටි, සන්නිවේදන හැකියාවන් වගේ දේවලුත් බලන්න ඕන.

කොහොම නමුත් තමන් ඉගෙන ගත් විශයෙන් නැතුව වෙන ක්ෂේත්‍රයකින් රැකියාවක් කිරීම ගැන ඇත්තටම මටත් ප්‍රශ්නයක් තියෙනවා. තමන්ට ඕනෑම රස්සාවක් කරන්න කාගේවත් තහනමක් නැහැ. නමුත් මෙහෙම කරන්නේ ඇයි කියන එකයි මගේ ප්‍රශ්නේ. මොරටුවේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිය කරලා පරිගණක මෘදුකාංග ඉංජිනේරු රස්සාවට එන අය මම දන්නවා. ඔවුන් කියන්නේ ඉතින් වැටුප ගැන බලලා එහෙම කරනවා කියලා. නමුත් තමන් ආසාවෙන් ඉගෙන ගත්ත ක්ෂේත්‍රයක් නම්, වෙනත් දෙයක් දවසට පැය 8 ක්, සතියේ දවස් 5 ම කරන්න මම නම් කැමති නැහැ. තමන් විෂය තෝරාගැනීම කරනකොට හොඳට හිතල බලන්න ඕන. මාත් විද්‍යා ගණිත ධාරාවට වගේම කලා විෂයටත් ගොඩක් ආසාවෙන් හිටි කෙනෙක්. නමුත් කලාව කරොත් ලැබෙන රැකියාවන් ගැන කල්පනා කරලා මම ගණිතය ඉගෙන ගත්තේ. හැබැයි මම ඒකත්, පසුව වි වි හිදී පරිගණක විද්‍යාවත්, ඉගෙන ගත්තේ ආසාවෙන්.

Buddie Chandradeepa Kurera said...

ඇත්ත මේකයි ඉල්ලුමට හරියන සැපයුම දෙනදේ. කොච්චර කැමති උනත් අඩු පඩි ලැබෙන එකක් කරලා වැඩක් නෑ. ඉතින් මොන උපාධිය තිබ්බත් වැඩි පඩියක් ගන්න එක තමා ඉතාමත් වැදගත් වෙන්නේ ආසාවෙන් කරනවද නැද්ද කියන එක නෙමේ. පඩිය වැඩි නිසා කෘතිම ආසාවකින් ජොබ් එක කරන්න වෙන්නේ.

මොනා උනත් අන්තිමේදී රු. ශත විතරයි.

Tharinduhw122 said...

ඔව් ඇත්ත ලංකාවේ තියෙන විභාග කියන්නේ එක්තරා කටපාඩම් විමානයක් හිතල වැඩකරන අය එකෙන් හලනවා ,හැල්මේ දුවන වටේ දුවන වටේටම දුවන කට්ටියක් තෝරාගන්න බලනවා,ඊටපස්සේ මොළ හෝදනවා,ඉතින් කොහෙද රට හදන්නේ.එකනේ අපි පිට ආවේ,අපි දැන් පිට රට හදනවා....අනේ අපේ රට..කන්නේ පාලකයෝ.

Niroshini Fernando said...

මේකට නම් එකඟ නැහැ. මුලදී සල්ලි නිසා කෘතීම ආසා ඇති කර ගත්තත්, ඒකෙ පැවැත්මක් නැහැ. ටික කාලෙකින් රැකියාව එපා වෙනවා.  උදේට යන්නේ මේ මොන වධයක්ද කියල හිතමින්. එතකොට, රැකියාව හරියට කරන්නෙත් නැහැ. සමහරු ජීවිත කාලෙම මෙහෙම අකමැති දේ කරමින් ඉන්නවා. නමුත් හිතේ සතුටක් නැහැ. ඒකෙ පලිය ගන්නේ අනිත් අයගෙන්. එහෙම ජීවත් වෙලා ඇති වැඩේ මොකද්ද?

Shenya de Silva said...

ඕකට හේතුව විදියට මන් නම් දකින්නේ ආර්ට් කරන ගොඩක් අයට වඩා සයන්ස් කරන අය ලේසියෙන් ඕනෙම අංශයක වැඩ කරන්න ලේසියෙන් පුරුදු කරන්න පුළුවන්. ලොජිකල් විදියට හිතන්න ලොජික් ඉගෙනගන්න ඕනෙම නෑ නේ. අනික ආර්ට් වලට උගන්නන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍ය ජිවිතේ එක්ක සම්බන්ධ දේවල්, ඉතින් ඒවගේ දේවල් ඕනේ උනාම මිනිස්සු කොහොමත් ඉගෙනගන්නවනේ. කොමර්ස් වලත් එහෙම තමා.  

Shenya de Silva said...

මන් නම් හිතන්නේ නෑ එහෙම කෘත්‍රිම ආසාවක් තියෙනවා කියල. එක්කෝ ඒ පුද්ගලයට do what you like, like what you do වගේ ඇටිටියුඩ් එකක් ඇති, නැත්තන් ආස කරන්නේ මොන ෆීල්ඩ් එකේ මොන රස්සාවටද  කියල දන්නේ නැතුව ඇති. ඇයි ඉතින් ආස කරලා තියෙන්නේ රස්සාවට නෙමේ නේ සල්ලි වලටනේ. 

Dedunu Dhananjaya said...

http://www.dedunumax.info/?p=1505 ඔන්න ලිව්වා අක්කේ

deeps said...

මගේ අදහසත් ලියලා ආවා ලිපිය ගැන 

deeps said...

හ්ම්ම්, මේකත් හොඳ හේතුවක්. 

deeps said...

පිට රට හද හද ඉන්නේ නැතුව මේ පැත්තටත් එන්න. පොඩ්ඩක් http://www.sl2college.org/ පැත්තේ එහෙම ගිහින් බලන්න 

deeps said...

මෙන්න මේ උත්තරේම තමා මටත් මේ ප්‍රතිචාරයට දෙන්න තියෙන්නේ.

deeps said...

සල්ලි ගැනම හිතන අය නිසා තමා දුෂණ වංචා සහ අල්ලස් වැඩි වෙලා තියෙන්නේ කියලත් හිතෙනවා 

deeps said...

බොහොම හොඳයි :D

deeps said...

ආණ්ඩුවේ රස්සා වලට නම් මගෙත් වැඩි කැමැත්තක් නැහැ.

deeps said...

ඒක නම් දුක හිතෙන කවියක්! 

deeps said...

"අනෙක් හැමතැනකදිම වැදගත් වෙන්නෙ උපාධිය සහතිකය විතරයි"
මේ කතාව නම් ඇත්ත වේගෙන එනවා කියලා මටත් හිතිලා තියනවා. තව ටිකක් නිවැරදි කරනවා නම් පන්ති සාමාර්ථයක් සහිත උපාදියක්.

"ඒ හෑර මානුශික  හැඟීම් කියන දේ නම් කළා පීඨ වලට විතරක් සුවිශේෂ දෙයක් නෙවෙයි. උදාහරනත් තියනවා "උදාහරණ මේ බ්ලොග් එකෙත් තියනවා. කතාව සාධාරණයි.
"ඉන්ජිනේරුමය නිශ්පාදන  වල මාකටින් පැත්තත් දැන් දැන් ඉන්ජිනේරුවන් විසින්ම කරන ප්‍රවණතාවයක් තමයි තියෙන්නෙ"මෙහෙම දෙයක් තියනවා. ඒ වුණාට මම දැකලා තියනවා සමහර අයට මොලේ වෙහෙසවලා ප්‍රෝග්‍රෑම් ලියන්න පුළුවන්. එත් ඒක මිනිස්සුන්ට ගැලපෙන විදියට ඉදිරිපත් කරන්න එයාලට තේරෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවට තමා වෙනත් විෂයන් ඉගෙන ගත්ත අයගේ සහය අවශ්‍ය වෙන්නේ.

deeps said...

ඔව් ඔව්..මොනා කොරන්නද ඉතිං 

deeps said...

එහෙම කරන එකත් කොච්චර ශෝයිද? එතකොට රට පුරා ඇවිදින්න පුළුවන් නේ :P

deeps said...

මේ තියෙන්නේ උදාහරණ!

deeps said...

ඔව් අයියේ ඇත්ත. සාමාන්‍ය පෙළ ගණන් දන්නවා නම් පුළුවන්. එත් කාලය හරස් වෙනවා ගොඩ වෙලාවට මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ගියාම

deeps said...

"ඇත්තටම ලංකාවට අවශ්‍යයය නැති තරමට කලා උපාධි වැඩි වෙලා,"මේකට මම මෙහෙම උත්තරයක්‌ දුන්නොත් : කලා උපාධි ගත්ත අයට කරන්න තියෙන රස්සා වලට අනික් අය පැනලා. මේ ප්‍රශ්නය ජනාධිපති දක්වා ගිය අධ්‍යාපන ගැටළුවක් කියලා අපේ සමාජ විද්‍යා අංශයේ ආචාර්ය වරයෙක් කියලා තිබුනා.
"කලා උපාධියක් විතරක් තියෙන කෙනෙක් ගේ විශ්ලේෂණ හැකියාව ඉතාමත් අඩුයි."
එයාලගේ විශ්ලේෂණ හැකියාව තියෙන්නේ වෙන වෙන දේවල් වලට. උදාහරණයක් විදියට පොතක් ගැන විචාරයක් ලිවීම. බුඩිට මේ විශ්ලේෂණ හැකියාවන් වල වෙනස්කම් ගැන ඕනේ තරම් අත්දැකීම් ඇති.

"1) ගනිත විෂයක් උපාධියට එකතු කරලා විශ්ලේෂණ හැකියාව වැඩි කරන එක"
කල යුතු දෙයක්. අපිට පළවෙනි අවුරුද්දේදී කරන්න තිබුනා. නමුත් ඒක විෂයක් පමණයි.

"3) ද්වි උපාධි වැඩසටහන් හදුන්වා දීම"
දැනටමත් තියනවා. හැබැයි බොහොම සුළු පිරිසක් ඇතුල් කරගන්නේ. ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාව තනිකර කලා විෂයන් කරන අයට වඩා වැඩියි.

"කවියක විචාරය කියන දේ ඇත්තටම වැදගත් දෙයක් නෙමේ, ඒත් ආයතනයේ වැඩ කරද්දි ක්ෂනික තීරණ ගන්න ඕනේ අන්න ඒ හැකියාවයි මනින්න ඕනේ"
මට කියන්න ඕනේ උ=වුනේ එකිනෙකාගේ හැකියාවන් එකිනෙකට වෙනස් කියලා විතරයි.

"මෙන්න මේ කතාවට මම තරයේ විරුද්ධයි."
විභාග ඉවර වෙලා කියන්නකෝ විරුද්ධ වෙන්න හේතුව 

deeps said...

බොහොම සුළු පිරිසක් :)

deeps said...

බොහොම සුළු පිරිසක් :)

Pravin Indranama said...

මෙතන ගැටලුව තියෙන්නේ කලා විෂය ධාරාවක් ඉගෙනගත්තු ඔයාලගේ නෙමෙයි. අධ්‍යාපන ක්‍රමයේ කියලයි මට හිතෙන්නේ. මුලින්ම ගමු බුද්ධි පරීක්ෂණය. ඔවු ඒකේ ගණිත ප්‍රශ්න ටිකක් තියෙනවා, නමුත් ගණිතය කියන විෂයයෙන් බැලුවොත් අඩුගානේ ඒලෙවල් ගණිතයෙන් කොටසක්වත් එතන නැහැ. එතැන තියෙන්නේ කවුරුත් පාවිච්චි කරන සාමාන්‍ය ගණිතය. සංඛ්‍යා රටා වල මොන ශුද්ධ/ව්‍යවහාරික ගණිතයද? කලා විෂයය කරපු අය විතරක් නෙමෙයි, විශ්වවිද්‍යාලයෙත් ගණිතය ඉගෙනගත්ත මට සංඛ්‍යා රටාවක් විසඳන්න සෑහෙන්න වෙලාවක් යනවා.

මේ සංඛ්‍යා රටා වගේ ගණිත ගැටලු වලින් බලන්නේ අදාල පුද්ගලයා “ගැටලු විසඳීමේ සමතෙක්“ ද (ගණිත ගැටලු නොවේ) කියන එක. මොන උපාධිය අරගෙන ආවත් ගැටලු විසඳීමේ සමත්කම රැකියාවෙදි අනිවාර්ය අවශ්‍යතාවයක්. ගණිත ගැටලු වලින් බලන්නේ වෙනස්වෙන වාතාවරණ යටතේ සුදුසු විසඳුම ගන්න අදාල පුද්ගලයා සමත්ද කියන එක.

දැන් එතකොට කොහොමද මේක අධ්‍යාපන ක්‍රමයේ වරදක් වෙන්නේ? උසස්පෙලටත්, විශ්වවිද්‍යාලයෙත් ගණිතය හදාරන අයට මේ “ගැටලු විසඳීමේ“ කලාව පුරුද්දෙන්ම එනවා. මොකද ඔය කාලසීමාව ඇතුලේ ශුද්ධ/ව්‍යවහාරික ගණිත ගැටලු දහස් ගණනක් විසඳීමෙන් “හිතන විදිය“ දියුණු වෙනවා. මේකෙන් හැකියාව ලැබෙනවා වාතාවරණය වෙනස් උනත්, තමන් කලින් නොදන්න දෙයක ගැටලුවක් උනත් හොඳ විසඳුමක් ලබාගන්නට.
කණගාටුවකට වගේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය හැඩගැහිලා තියෙන්නේ ජෛවවේදය ඉගෙනගන්න අයටත්, ශාස්ත්‍රවේදය ඉගෙනගන්න අයටත් “කඩපාඩම්“ ක්‍රමය අනුගමනය කරන විදියට. ශාස්ත්‍රවේදය ඉගෙනගන්න අයගේ මේ ලක්ෂණය වැඩි වෙනවා අධ්‍යාපන ක්‍රමය තුලින්. මේ අයට ගැටලු විසඳීමේ පුහුණුවක් තමන්ගේ අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නේ නෑ. ඉතිං තමන්ගේ කලා විෂය දැනුම විතරක් තියාගෙන බුද්ධි පරීක්ෂණයකට යන කෙනෙක් එතනදි හිර වෙනවා. මේ නිසා තමන්ගේ වගකීමක් විදියටයි මම දකින්නේ, බුද්ධි පරීක්ෂණයට සූදානම් වීම.

ඔය දේම අනිත් පැත්ත ගණිත විෂයයන් කරපු අපිටත් වෙනවනේ. රාජ්‍යසේවයේ හැම තරග විභාගයකම සිංහල භාෂා කොටසක් තියෙනවා. මෙතනදි අපිට වෙන effect එක ඔයාලටත් වඩා වැඩියි. ඔයාලට පලමු වසරෙදිවත් පොඩි හෝ ගණිත පාඩමක් තිබ්බා කිව්වා. නමුත් අපි ඕලෙවල් වලින් පස්සේ රචනාවක් ලියලා නැහැ. ඇතැම්විට විශ්වවිද්‍යාලයේ ගෙවපු තුන් අවුරුද්දේ සිංහල වචනයක්වත් ලියලා නැහැ. ඉතින් අපිට සිදුවෙනවා ආපහු අපේ සිංහල දැනුම, ලිවීමේ හැකියාව වර්ධනය කරගන්නට.