Friday, August 5, 2011

සහනිගේ ඉංග්‍රීසි - 3

සහනිගේ කතාව අද දිගහැරෙන්නේ ඇය සහභාගී වූ විවාද තරගයෙන්. සහනි කියන්නේ කවුද කියලා ඔබට ප්‍රශ්නයක් නම්, එයාගේ කතාවේ පළවෙනි සහ දෙවැනි කොටස් කියවලා එන්න.

විවාද තරගය පැවැත්වෙන අතර තුර ප්‍රේක්ෂක පිරිස දිහා බලනකොට සහනිට පේනවා අනිත් අම්මලා තාත්තලා එකිනෙකා එක්ක සුහදව කතා කරන හැටිත්, සහනිගේ අම්මා තනිවී සිටින හැටිත්. ඒ වගේම සහනි දකිනවා ඇනිත් දෙමාපියන් ළඟ නැති සරල සහ චාම් බවක් ඇගේ මව තුලින්. මේ සියල්ල නිසා ඇයට හැගෙන්නේ තමන් අනිත් අයට වඩා වෙනස් කෙනෙක් බව. එදා විවාදය ඉවර වෙලා ගෙදර යන්න බස් නැවතුමට එන ගමන් අම්මා මෙහෙම කියනවා "එතන හිටපු අය ඔක්කොම අපිට වඩා වෙනස් අය." අම්මාගේ ඇහෙන කඳුළක් එලියට පනින්න ඔන්න මෙන්න.
ඒ ඉංග්‍රීසි උගත් , ඉහල පැලැන්තියේ රස්සා කරන අය අතරේ ඉංග්‍රීසි නොදන්නා කෙනෙක්ට මුහුන පාන්නට වෙන ගැටළු ගැන සහනි දැනගත්ත පළවෙනි වතාව. එදා සහනි තීරණයක් ගන්නවා ඉංග්‍රීසි බැරි කෙනෙක්ට කවදාවත් විහිළු කරන්නේ නැහැ කියලා. ඒ වගේම ඉංග්‍රීසි බැරි කෙනෙක් ඉදිරියේදී ඉංග්‍රීසි කතා කරලා ඔහු හෝ ඇය අනවශ්‍ය විදියට අහපසුතාවයට පත් කරන්නේ නැහැ කියන තීරණයට සහනි එදා එළබෙන්නේ දැඩි විශ්වාසයකින්. ඇය අකමැති වුනා තවත් මවකගේ ඇසින් ඉංග්‍රීසි නිසා කඳුළක් පිටවෙන දර්ශනය බලාගෙන ඉන්න. ඉංග්‍රීසි කතා කරන කාර් වලින් ගමන් බිමන් යන සමාජයට ඇතුල් වෙන්න තමන්ට තියෙන එකම අඩුව ඉංග්‍රීසි කතාව කියලා හිතාගෙන හිටපු සහනි තම අදහස වෙනස් කරනගන්නවා. ඇය දකිනවා ඉංග්‍රීසි කතා කරන පැලැන්තියට ඔවුනටම ආවේණික වුනු සංස්කෘතියක් තියන බව. මේ සංස්කෘතිය සහනි අකමැති විදියේ සංස්කෘතියක්. ඇය එතැන් සිට මහන්සි වන්නේ තමාගේ පවුල් පසුබින් ආ ගති පැවතුම් ඒ විදියටම තියාගෙන ඉංග්‍රීසි කතා කරන අයගේ සමාජයට ඇතුල් වෙන්න.

මේ වන විට සහනිට අවස්ථාව ලැබෙනවා ඉංග්‍රීසි නාට්‍ය තරඟ සඳහා පාසැල නියෝජනය කරන්න. වෙනත් පාසැල් වලින් මේ තරඟ වලට ඉදිරිපත් වුනු සිසුන්ගේ දක්ෂතා බලාගෙන ඉන්නකොට තමන් ගොඩක් පිටුපසින් කියලා සහනිට හිතෙන වාර ගණන අනන්තයි. ඔවුන් තරම් තමන්ගේ ඉංග්‍රීසි දියුණු කරගන්න බැරි බව සහනිට විවිධ හේතු නිසා තේරුම් යනවා. එකක් ඇයගේ දත් පිහිටීම. සමහර වචන ශබ්ද කිරීම ඒ නිසා ඇයට අපහසුයි. ඇය මෙවැනි අඩු පාඩු මකාගන්න බලන්නේ ඇයගේ ගති පැවතුම් වලින්. සහනිගේ හැසිරීම සහ ඇගේ ගති ගුණ නිසා සහනිට පාසලේ ඉංග්‍රීසි කතාකරන සිසුවියන්ගේ ඇසුර ලැබීමට හැකි වෙනවා. ගුරුවරියන් අනෙක් සිසුවියන්ට වඩා සහනිගේ චරිතයේ අමුත්තක් දකිනවා. ඒ අමුත්ත නිසා ගුරුවරුන් ඇයට සලකනවා. මේ සහනිගේ ජීවිතයට තවත් පාඩමක් එකතු වූ තැනක්. ඉංග්‍රීසි කතාකරන සමාජයට ඇතුල් වෙන්න අවශ්‍යයි කියලා සහනි ඒ සමාජයේ සාමාජිකාවන් අනුකරණය කළා නම් ඇයට කවදාවත් කැපී පෙනෙන්නට අවස්තාවක් ලැබෙන්නේ නැහැ. කැපී පෙනෙන්න නම්, ඉස්සරහට යන්න ඕනේ නම් තමාගේම අනන්‍යතාවක් ගොඩනගා ගැනීමේ ඇති වටිනාකම සහනි තේරුම් ගන්නේ එහෙමයි.

 තාම අපි ඉන්නේ සහනිගේ 11 වසර පන්තියේ. 11 ශ්‍රේණියේදී ඉංග්‍රීසි සාහිත්‍ය විෂය සහනිගේ පාසලේ හැම සිසුවියකටම අනිවාර්යයි. මතක විදියට ඉංග්‍රීසි සාහිත්‍ය ලකුණු සිසුවියන්ගේ වාර අවසාන ලකුණු වලට එකතු කරනවා පන්තියේ කී වෙනියද කියලා හොයන්න කලින්. ඉතින් ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට පාසැල ඇතුලේ ලොකු වැදගත් කමක් ලැබුණා. විෂය වැදගත් නිසා ළමයි පුද්ගලික පන්ති වලට ගියා. සහනි පන්ති යනවා වෙනුවට පොත් කියෙව්වා. වැඩි වැඩියෙන් ප්‍රශ්ණ වලට උත්තර ලිව්වා. ඉංග්‍රීසි භාෂාවට තිබුණු දැඩි ඇල්ම නිසා සහනි දහය ශ්‍රේණියේ සිටම ප්‍රංශ භාෂාව ප්‍රගුණ කළා. ඒ ප්‍රංශ භාෂාවත් ඉංග්‍රීසි වගේම ලස්සන සහ වැදගත් භාෂාවක් බව සහනිට දැනුන නිසා.

සාමාන්‍ය පෙළ විභාගය ඉවර වුනා, ප්‍රථිපල නිකුත් වුනා. ප්‍රධාන විෂයන් 8  සහ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය ඇතුළුව  A සාමාර්ථ 9 ක් අරගෙන සහනි විභාගය සමත් වෙනවා. උසස් පෙළ කඩයිම සඳහා විෂයන් තෝරාගැනීම සහනි මීළඟට මුහුණ දෙන ගැටලුව. ගුරුවරුන් , දෙමාපියන් සහ නෑදෑයන් ගේ බලවත් විරෝධතා තිබුනත් ඇය තෝරාගන්නවා උසස් පෙළ සඳහා කළා විෂයන්. ඉංග්‍රීසි ගුරුවරියක් වීමේ සිහිනය දැන් විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි ආචාරයවරියක් වීම දක්වා වර්ධනය වෙලා. ඒ සිහිනයත් එක්ක සහනි උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. අවුරුදු තුනකට ආසන්න කාලයක් ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා වලින් ඉගෙනීම් කටයුතු කළ නිසා උසස් පෙළ අවසාන වෙන කාලයේ සහනි එලොවටත් නැති මෙලොවටත් නැති චරිතයක් බවට පත් වෙලා. ඉංග්‍රීසි ඇයගේ මව් භාෂාව තරමට ඇයට දැන් සමීපයි. නමුත් සිංහල භාෂාව පිලිබඳ ඇගේ දැනුම මොට වෙලා. සිංහල පොතක් කියවන්නේ නැති තරම්. සිංහල ලිවීම  ඇයට හීනයක්‌. කෙලින්ම කිව්වොත් "ඉංග්‍රීසි දන්නවා නම් ඔක්කොම හරි " කියලා හිතාගෙන ඉන්න සමාජයේ සාමාජිකාවක් බවට සහනි පත් වෙනවා. 


උසස් පෙළ අවසානයේ සහනි ඇගේ ගම්  පළාතේ තිබු ආයතනයක පුස්තකාලයේ  ස්වේච්චාවෙන් සේවය කිරීමට තීරණය කරනවා. පුස්තකාලයේ අධිපතිනිය ඉංග්‍රීසි ජාතික කාන්තාවක්. ඈ සමඟ වැඩ කරන කාලය ඇතුලත සහනිට අඳුරගන්න ලැබෙනවා විවිධ ජාතීන් ට අයත් පුද්ගලයින්. පාසලේදී ඇයට වර්ධනය කරගන්නට බැරි වුන ඉංග්‍රීසි කතාවේ ඉතිරි ටික සහනි මේ පුස්තකාලයේ වැඩ කරන කාලයේදී ඉගෙන ගන්නවා. දැන් සහනිගේ ඉංග්‍රීසි සිහිනය සැබෑවක් බවට පත් වෙලා. ඇය සතුටින්. දැන් සහනි බලාගෙන ඉන්නේ විශ්ව විද්‍යාල අයදුම් පත් නිකුත් වෙනකන්. නමුත් සහනිට වැළඳිලා තිබුණු ඉංග්‍රීසි පිස්සුව මේ වන විට ගොඩක් අඩු වෙලා. පාසැල් ජීවිතය පුරාවට ඉංග්‍රීසි පසු පස හඹා ගිය නිසා සහනිට මිතුරියන් රාශියක්, අත්දැකීම් රාශියක් සහ සහතික ගොන්නක් මේ වන විට ලැබී තිබුණා. නමුත් ඉංග්‍රීසි කියන්නේ නිකන්ම නිකන් භාෂාවක් කියන තිත්ත ඇත්ත තේරුම් ගන්න තරම් සහනි මෝරන්නේ උසස් පෙළ ඉවර වෙලා නිකමට වගේ පත්තර වල තියන රැකියා අයදුම්පත් කියවනකොට. සහනිට වැදගත් කියලා හිතෙන හැම රැකියාවකටම ඉංග්‍රීසි වලට වඩා වැඩි සුදුසුකම් ඉල්ලනවා. ඉංග්‍රීසි කියන්නේ රැකියාවකට යනකොට තියෙන්න ඕනේ දක්ෂතාවයක් විතරයි.


ඉංග්‍රීසි කියන්නේ අදහස් හුවමාරු කරගන්න පාවිච්චි කරන එක මාධ්‍යක් මිසක් දැනුමක් නොවන බව සහනිට ටිකෙන් ටික තේරුම් යනකොට කෝච්චිය ගිහින් ඉවරයි.


 "මම උසස් පෙළට ඉංග්‍රීසි කළ නිසා දන්නේ ඉංග්‍රීසි විතරයි. නමුත් මම වෙන දෙයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කළා නම් ..." 


සහනි එහෙම හිතුවත් එයාට කරන්න දෙයක් තිබුණේ නැහැ. පාසැල් ජීවිතය පුරා හඹාගිය ඉංග්‍රීසි හිතූ තරම් වැදගත් සිහිනයක් නොවන බව සහනිට විශ්ව විද්‍යාලයේදී තේරුම් යනවා. තම මිතුරියන් උසස් පෙළ දී ඉගෙන ගත් ඉංග්‍රීසියම වැඩි දුර හැදෑරීමට තීරණය කරනවිට සහනි තීරණය කරන්නේ භාෂාවක් ඉගෙනීමට වඩා අළුත් දැනුමක් ඉගෙන ගැනීම වඩා වැදගත් බව. ඒ නිසා ඇය ඉංග්‍රීසියෙන් ඔබ්බට විහිදී ගිය විෂය මාලාවක් විශ්ව විද්‍යාලයේදී තෝරාගන්නවා. සහනි කියන්නේ ඉංග්‍රීසි විෂයක් විදියට ඉගෙන ගත්තොත් ජීවිතේ ඉවර වෙනකන් ඉංග්‍රීසි ම විතරයි කියලා. ඇයට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම ලබාගන්නා මාධ්‍යක් ලෙස ප්‍රයෝජනයට අරගෙන වෙනත් දේවල් හදාරන්න. 


තම අධ්‍යාපනය සම්බන්ධයෙන් ගැනුණු වැදගත්ම තීරණය ලෙස සහනි අදත් දකින්නේ ඒ තීරණය. මේ වනවිට සහනි අපේ පුංචි ලංකාවේ තියන ලස්සනම විශ්ව විද්‍යාලයක සිසුවියක්. අමාරුවෙන් ඉගෙන ගත්ත ඉංග්‍රීසි ඇයගේ ජීවිතය ජයගන්න තාමත් උදව් වෙනවා. ඉදිරියටත් උදව් වේවි. 





41 comments:

  1. අමුතුම කතාවක්! අක්කා මේ කතාව හිත ඇදගන්න විදිහට ලිව්වා.

    ReplyDelete
  2. සහනිගේ කතාවයි, ඔයා ලියලා හැටියි ඇත්තටම ලස්සනයි. මම සහනිට සුබ පතනවා! :)

    ReplyDelete
  3. කතාවක අන්තර්ගතය සම්බන්දයෙන් කතාවෙ කතුවරිය සමඟ තර්ක කිරීම පලක් නෑ..
    ඒත් මිලියන 1.8ක් කතාකරන බාශාවක් අද මේ තත්වෙට පත්වෙන්න ඉංගිරිසියට තියන අමුතු තැන ඉවහල්වෙලා..
    ඉංගිරිස් ලෝකෙයම දැනගන්න ඉංගිරිස් කතාකලාම ඇති..එතැනදි ඉංගිරිසි විදියට ජීවත්වෙන්න උත්සාහ කරන එක නිෂ්පලයි..එක්තරා හිතාගන්න තරම් ඈත තියෙන පාසැලක සියයට සියයක් ඉංගිරිසි විබාගයට මූනදීපු අය 33න් දෙනාගෙන් විසි ගානකට විශිෂ්ඨ සාමාර්ථ.ඒ ගුරුවරයගෙ කැපවීම නිසා..මේක ලංකාදීපෙ තිබුන ඇත්ත කතාවක්..අපිට ඉංගිරිස් බෑ කියන පට්ට බොරුව ඒකෙන් නැති වෙනව..
    5වසරෙන් ඉහල ඉංගිරිස් වලින් තිබුන අපේ ආච්චිල සීයලගෙ කාලෙ වාගෙ අද වුනානම් ...මේකත් ඉන්දියාව වගේ ලෝකයට බුදුධිමතුන් සප්ලයි කරන ප්ලේස් එකක් අද..

    ReplyDelete
  4. හෆෝයි මේකෙ දිගගගගගගගගගගගගගගගගගගගගගගගගග

    ReplyDelete
  5. සිරාවටම ඉස්කෝලේ ඉංග්‍රීසියෙන් ඉගැන්නුවානම් මේ කිසිම අවුලක් නෑ,හැම ළමයම නිකන්ම ඉගෙන ගන්නවා එහෙනම්,අනික ඉංග්‍රීසි මැජික් වෙන්නෙත් නෑ එහෙනම් කාටවත් ;)

    ReplyDelete
  6. ස්තුත්යි පූස්! 

    ReplyDelete
  7. සහනි මේ පොස්ට් බලාවි තව පැය කිහිපයකින්...:) සුබ පැතුම් එතකොට කෙලින්ම සහනිටම ගන්න පුළුවන් නේ...

    ReplyDelete
  8. හ්ම්ම් ඔව්..ඒත් සමහරු කැමති නෑනේ මේ වැඩේට...

    ReplyDelete
  9. හී මෙතැනින් ඉවරයි :)

    ReplyDelete
  10. Chanaka MunasingheAugust 5, 2011 at 7:52 PM

    මම අඳුරනවා මෙයාව  :D

    ReplyDelete
  11. සහනිගේ උනන්දුව කැපවීම ඉතාමත් අගයන්න පුලුවන් දෙයක්. ඒත් හරි මග පෙන්වීමක් නොලැබුනා කියලා හිතන්නේ. මොනා උනත් සහනිට සදා ජය. ඩීප්ස් ආසයි සහනිව අදුන ගන්න ;)

    කැම්පස් පටන් ගත්තම බලමු ඕකේ. 

    ReplyDelete
  12. තමන්ට ලබා ගන්න අමාරු දේ තමයි ගොඩක් වෙලාවට ලබා ගන්න උත්සාහ කරන්නේ ඉතින් සහනිටත් ඒක ඒ විදියටම දැනුන හින්ද වෙන්න ඇති ඔය විදියට ඉංගිරිසිය පස්සෙන් යන්න ඇත්තේ

    ReplyDelete
  13. ගොඩාක් හොඳ ලිපියක් සහනි=Deepz ද කියලත් හිතෙනවා මට

    ReplyDelete
  14. අපිත් ඉතිං සාපෙට ඉංගිරිස් සාහිත්යේ කොලා. ඉංගිරිස් පුළුවං කමකට නෙවේ, චිත්‍ර අඳින්නවත්, සිංදු හෝ සංගීත භාණ්ඩයක් වාදනෙ කරන්න වත් බැරි නිසා. :P

    ReplyDelete
  15. එළ කැම්පස් පටන් ගත්තම අදුන්වලා දෙන්නම් 

    ReplyDelete
  16. වෙන්න පුළුවන්..

    ReplyDelete
  17. කිසිම දෙයක් ඒ ගැන කියන්නේ නැහැ ;)

    ReplyDelete
  18. අපේ පාසලේ නම් අනිවාර්යයි :) තාමත් එහෙමද දන්නේ නැහැ 

    ReplyDelete
  19. අපූරු කථාන්දරයක් තුල කියවෙන සුවිසල් සමාජ පණිවිඩ තොගයක්.... !!!
    ඇත්තටම මේ නංගිගේ කතාන්දරයද?
     

    ReplyDelete
  20. එහෙම ඉස්කෝල වලට ඕන ඕන දේවල් උගන්නන්න බෑ නෙ (ආණ්ඩුවෙ ඉස්කෝලයක් නං.). සාපෙ ප්‍රධාන විෂයන් 6ක් ඇරුණම තවත් විෂය කාණ්ඩ 3කින් (සෞන්දර්ය, තාක්‍ෂණික හා *නම මතක නෑ*) එක බැගින් තෝරගන්න තියෙන්නේ.

    ReplyDelete
  21. හිතට කාවදින කතාවක්...

    ඔයා කියන්නේ මේක ඇත්ත කතාවක් කියලද?

    ReplyDelete
  22. අපේ ඉස්කෝලේ නම එහෙම තමා වැඩ කටයුතු සිද්ධ වුනේ. හැබැයි මේ තීරණය නිසා ළමයින්ගේ ඉංග්‍රීසි වර්ධනය වුනා කියලා නම කියන්න පුළුවන් 

    ReplyDelete
  23. ඔව් ඇත්ත කතාවක් 

    ReplyDelete
  24. කතාවත් පොඩ්ඩක් විතර මේකට සමානයි 

    ReplyDelete
  25. මම නම් දකින්නේ සහනි යනු deepz තුල ජිවත් වන deepz ට අභියෝග කල අයෙක්, deepz විසින් සමාජයට අදුන්වා දීමට, සමාජයේ හෙලාදැකිය යුතු දේ යොදාගනිමින් කරන ලද උත්සහයක ජිවත් වන අභියෝගමත් කථානායිකාවක් කියලා.
    *** කථාවනන් කියවන්න කියවන්න ආස හිතෙනවා. :)**

    ReplyDelete
  26. මේකනම් මට ඉතාම වටිනවා. මම මගේ දුවට කියවන්න දුන්නා. ඇය ආසාවෙන් කියවනවා. ඔබට බොහොමත් ස්තුතියි!!!
    ජයම පතනවා!!!! 

    ReplyDelete
  27. මේකනම් මට ඉතාම වටිනවා. මම මගේ දුවට කියවන්න දුන්නා. ඇය ආසාවෙන් කියවනවා. ඔබට බොහොමත් ස්තුතියි!!!
    ජයම පතනවා!!!! 
    මහ වෙදනා වෙද ගෙදර

    ReplyDelete
  28. හරවත් කතාවක්. ඉංග්‍රීසි හෝ වෙන යම් භාෂාවක් ඉගෙන ගන්න ඕනැම කෙනෙක් මතක තියා ගන්න ඕනැ දෙයක් තමයි ඒ තුළින්ම කෙනෙකුට සියල්ල සපුරා ගන්න බැරි බව. භාෂාවක් යොදා ගන්න පුළුවන් අදහස් හුවමාරු කර ගැනීමේ මෙවලමක් හැටියට පමණයි. ඉංග්‍රීසි අද ලොකේ අංක එකේ ජාත්‍යන්තර භාෂාව නිසා එය හොඳින් දැන ගැනීමෙන් තමන්ගෙ අදහස් බොහොම දෙනෙක් එක්ක බෙදා ගන්න හැකි වෙන බව නම් ඇත්ත.

    මේ කතාවේ සහනි කාලයක් ඉංග්‍රීසිය දේවත්වයේ සලකා කටයුතු කිරීම නිසා පසු කාලෙක ඇයට ඒ ගැන කණගාටු වෙන්න සිදු වෙන බව පෙනෙනවා. තමන්ගෙ මවි බස වෙන සිංහල භාෂාව සහ අනෙකුත් සියළු දේ අමතක කර ඉංග්‍රීසි/ප්‍රංශ භාෂා සහ ඒ හා සම්බන්ධ දේ ගැන උවමනාවට වැඩි කපවීමක් දැක්වීම මීට හේතුව වෙන්න ඇති. නමුත් ඇය භාෂා ශාස්ත්‍ර ගැන උනන්දුවක් ඇති කෙනෙක් නම් ඒ සම්බන්ධ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් වීමේ බලාපොරොත්තුව ඵල රහිත දෙයක් විදිහට මම දකින්නෙ නැහැ. පත්තරවල රැකියා ඇබෑර්තුවල නැති වැදගත් රැකියා ගණනාවක් තියනවා යම් අංශයකින් ඉහළට ඉගෙන ගන්න කෙනෙකුට, මම හිතන්නේ. කොහොම වුණත් සහනි ඉංග්‍රීසි/ප්‍රංශ භාෂා ඉගෙන ගත්තේ භාෂා පිළිබඳ උනන්දුවට වඩා ඒ තුළින් ළඟා කර ගත හැකි දේ ගැන තිබුන වැරදි අවබෝධයෙන් නිසා ඇය විශ්ව විද්‍යාලෙදි වෙනත් අධ්‍යයන ක්ෂේත්‍රයක් තෝරා ගැනීම හොඳ තීරණයක්. 

    ReplyDelete
  29. අද තමයි කොටස් තුනම කියෙව්වෙ... හිත ඇත්නම් පත කුඩාද කියල කතාවක් තියෙනවනෙ...  ඉංග්‍රීසි කියන්නෙ අදහස් හුවමාරු කරගන්න තියෙන මාධ්‍යක් නම් තමයි... හැබැයි කෝච්චිය ගිහින් ඉවරයි කියල නම් හිතන්න අමාරුයි... මොකද ඉතිං මම හිතන විදිහට ඕනම විෂයක් ගැන දැනුම එකතු කරගන්න එක ගොඩක් ලේසී ඉංග්‍රීසි තියෙනවනම්... 

    ReplyDelete
  30. මධුරංගAugust 6, 2011 at 5:30 PM

    සහනි ලංකාවේ සුන්දර විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නවා කියලා කිව්වේ අපේ එකේද දන්නේ නෑ. මොනවා උනත් හරිම ආදර්ශමත් කතාවක් නංගි.
    ඒ වගේම තමයි අපි කැපවීමක් කරන්න පුලුවන් නම් ඕනම අරමුණක් සාර්ථක කරගන්න පුලුවන් කියන පණිවිඩෙත් අපිට මේ කතාවෙන් ඔයා දීලා තියෙනවා.
    නංගිට ජය වේවා !!!!!

    ReplyDelete
  31. බොලේ මට දැංනෙ නෝට්ටුනේ. ඩීප්ස්සක්කට රුහුණෙත් යාළුවො ඉන්නව එහෙනං ඈ?

    ReplyDelete
  32. Sameera ShaakunthalaAugust 6, 2011 at 7:52 PM

    Deepsගෙ ලිවීම් ශෛලිය හරිම අගෙයි නෙ. ස්ටේන්ලස් ස්ටීල් වගේ. :)

    සහනිට මෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්! පළමුවන ශ්‍රේණියේ සිටම ඈ සම්බන්ධ සිද්ධීන් ඈ හපනියක් බව මනාවට පෙන්නුම් කරනවා. නමුත් ඇයට තේරුම් ගන්නට අපහසු වුණේ එකම එක කාරණාවයි. ඒ, ඉංග්‍රීසිය ජීවත් වන පරිසරයත්, භාවිත රටාවත් අනුව නොදැනීම 'ඉගෙන ගැනෙන' තවත් එක් භාෂාවක් පමණක් බවයි.

    පරිගණක ක්‍රමලේඛකයකු හැටියට මගේ කතාවත් මීට ටිකක් සමානයි. English කියන එක වෙනුවට VB දාගෙන බලන්නකො. නමුත් අද මම යන්නෙ වෙනම ම ගමනක්.

    ReplyDelete
  33. අපූරුයි නගේ . . 

    ලිවීමේ ශෛලිය . . ලිපියේ හරය . . මේ ඔක්කෝම අපූරුයි . . . 

    තාත්තා කෙනෙක් උනු මට මගේ දරුවාගේ ඉගෙනීම සම්බන්ධයෙන් ගන්න ඉන්න ඉන්න තීරණ වලට මේ ලිපිය අනිවාර්යෙන් උදව්වෙන බව ස්තීරයි . . . 

    ඒවගේම මගේ ඉගෙනීමේ වැඩ වලටත් මේ ලිපියේ කරුනු යොදා ගන්න පුලුවන්. 

    ස්තූත්යි Deeps

    ReplyDelete
  34. දුකා අයියේ, සතුටුයි මේ ලිපියෙන් එච්චර ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වුනානම්...:)

    ReplyDelete
  35. මෙන්න ගොඩ කාලෙකින් මේ පැත්තේ ඇවිත්,,කොහොමද ජීවිතේ? :)

    ඔව් එයාට තේරුම ගන්න බැරි වුනේ ඒක විතරයි,,එත් කමක් නැහැ, දැන් හරි එයාට ඒක තේරුණා ඒක ලොකු දෙයක්...

    ReplyDelete
  36. අහ්හ් රුහුණේ ඉතින් ගොඩක් අය ඉන්නවා නොවැ ;)

    ReplyDelete
  37. කෝච්චිය ගිහින් කිව්වේ වෙන දෙයක් ඉගෙන ගන්න තිබුණු කාලය සහ මහන්සිය ඉංග්‍රීසිය දියුණු කරගන්න විතරක් යොදවපු නිසා. නමුත් එහෙම ඉගෙන ගත්ත ඉංග්‍රීසි වලින්  කතා නායිකාව අද උපරිම ප්‍රයෝජන ගන්නවා 

    ReplyDelete
  38. හෙලා දැකිය යුතු දේ හෙලා දැකීමට සහ සමාජයේ පැතිරිලා තියන විශ්වාසයන් මදක් වෙනස් කෙරීමට දැරූ උත්සහයක් කිව්වොත් හරියටම හරි.

    ස්තුතියි ප්‍රතිචාරෙට 

    ReplyDelete
  39. ඉංග්‍රීසි ඉගෙන ගැනීම කියන සිහිනය ඇයට අනුව ඇත්තක් වුනාම ඇයට එපා වෙන්නත් ඇති තව දුරටත් ඒ පස්සෙම යන්න. එකත් එක හේතුවක් විශ්ව විද්‍යාලයේදී වෙනත් විෂයන් තෝරාගන්න. ඒක හරියට එක සිහිනයක් සැබෑ වුනාම තවත් සිහිනයක් පස්සේ යනවා වගේ දෙයක්.

    ReplyDelete
  40. දුව සහ ඔබ යන දෙදෙනාම ලිපිය රස විඳි බව දැනගැනීම සතුටක් :)

    ReplyDelete