Sunday, July 10, 2011

දැන් ඒ කාන්තාව පාළම ළඟ

"අපි යමුද ෆිල්ම් එකක් බලන්න?"

"හා යමු"
"සඳුදා?"
"සඳුදා බෑ deeps. බදාදා. 11 ට?
"මම එනවා"
"මාත් එනවා"
"එහෙනම් මාත් එනවා"
ගොඩ කාලෙකට පස්සේ ෆිල්ම් එකක්!

බදාදා 10.30 ට බස් එකකට නගින්න කලින් එනවා කිව්ව එක්කෙනෙක්ට කතාකලේ එයාලා කොයි හරියේද කියලා අහන්න.

"ඔයා ඉන්නේ කොහෙද deeps?"
"මම මේ බස් එකක් එනකන් ඉන්නවා. තාම ගෙදර ළඟ"
"ඊයේ හවස අරගොල්ලෝ කිව්වනේ යන්නේ නැහැ කියලා. සඳුනිට Graphic Design ක්ලාස් කියලා යන්න බැහැ කිව්වා "
"හ්ම්ම් එහෙමද මට නම් කිව්වේ නැහැ එහෙම කතාවක්. එහෙනම් මම Graphic Design ක්ලාස් එක පැත්තෙවත් ගිහින් එන්නම් විස්තර බලාගෙන. ගොඩ දවසකින් ඒ පැත්තේ ගියෙත් නැහැ. නැත්තම් අපරාදෙනේ එළියට බැස්ස එක"

මම දුරකථනය විසංධි කලේ පන්තියේදී සඳුනිව හමුවෙන බලාපොරොත්තුවත් හිතේ තියාගෙන.
-------------------------------------------------------------------------------------------------

"deeps අපි යමුද Graphic Designing ඉගෙන ගන්න? හොඳ තැනක් තියනවා"

Graphic Designing ගැන තිබුණු ආසාව දෙගුණ තෙගුණ  වුනා මාස ගානකට කලින් 
දවසක මගේ මිතුරියක්‌  එහෙම කිව්වම.


"අපේ අක්කත් එතෙන්ට ගියේ, එතන උගන්නනවා හොඳයි "

විශ්වාසය තවත් දියුණු වුණා. මාත්, සල්ලි ගෙවලා එයාලත් එක්කම පන්තියේ රෙජිස්ටර් වුණා මාස කිහිපයකින් Graphic Designing සහතිකයක් ගන්නවා කියලා. අපි මාසයක් දෙකක් විතර පන්තියට ගියා. මුලදී අමාරු වුණාට ටික ටික අපි ඉගෙන ගත්තා පාට වෙනස් කරන විදිය ෆොටෝ එකට ගැලපෙන විදියට. දවසින් දවස දියුණු වෙන අපේ Graphic Designing දක්ෂතාව ගැන අපිම සතුටු වුණා.

ටික දවසක් ඔහොම ගත වුණා. පුද්ගලික  කාරණයක් නිසා මට සිදු වුණා පන්තිය තාවකාලිකව පොඩි කාලයක් නවත්තන්න. යාළුවෝ එක්ක ඊට පස්සේ පන්තියට යන්න බැරි වෙන ඒක ගැන දුක හිතුනත් වෙන කරන්න දෙයක් තිබුණේම නැහැ.
-------------------------------------------------------------------------------------------------

"හ්ම්ම් එහෙමද මට නම් කිව්වේ නැහැ එහෙම කතාවක්. එහෙනම් මම Graphic Design ක්ලාස් එක පැත්තෙවත් ගිහින් එන්නම් විස්තර බලාගෙන. ගොඩ දවසකින් ඒ පැත්තේ ගියෙත් නැහැ. නැත්තම් අපරාදෙනේ එළියට බැස්ස එක"

මගේ ප්‍රශ්නේ විසදගත්ත ගමන් ආපහු මම පන්තියට ගියා. අතපසු වූ පාඩම් ගැන ගුරුවරයා සමඟ කතාකරමින් බොහෝ වෙලාවක් එදා එතැන ගත කළත්  සඳුනි නම් පෙනෙන්නටවත් සිටියේ නැහැ.

විභාග විස්තර, ගෙවන්න ඕනේ ගාස්තු වගේ ඔක්කොම දේවල් හොයාගෙන ඇවිත් මම එදා හවසම යාළුවන්ට  කිව්වා. ෆිල්ම් ප්ලෑන් එක එයාලා මට නොකියා වෙනස් කරගෙන තිබුනත් මට ඕනේ වුණේ ඒ වෙනකොට පන්තිය බාගෙට නවත්තලා දාලා හිටපු ඒ අයවත් ඇදගෙන කොහොම හරි පටන් ගත්ත වැඩේ ඉවර කරන්න.

"deeps මම වෙන තැනකට යනවා. කොහොම වුනත් ස්තුතියි පණිවිඩේට"
"ඒ මොකෝ නිමාලි? ඔයත් මාත් එක්කමනේ මේ ක්ලාස් එකේ රෙජිස්ටර් වුණේ."
"ඒක ඇත්ත deeps ඒ වුණාට එයාලා අපිට ප්‍රැක්ටිකල් හරියට කරන්නේ නැහැ. ඒක නිසා මම යනවා වෙන තැනකට"
"මාත් වෙන තැනකට යනවා deeps. මට අල්ලන්නේ නැහැ එතන."
"මාත් එහෙමයි deeps"
"ඔයාලා ඔක්කොම වෙන වෙන ඒවාට යනවද??? හ්ම්ම් මම දන්නෙත් නැහැ....අල්ලන්නේ නම් නැහැ තමා. ඒත් මට වෙන තැනකට දෙන්න ආයේ සල්ලි නැහැ..ඒක නිසා මේකටම යනවා...."
"ok then..."

මට තනියම ඉගෙන ගන්න පුළුවන්. යාළුවෙක් හිටියත් නැතත්, ගුරුවරයෙක් ඉන්නවා නම් ඉගෙනගන්න පුළුවන්. යාළුවෝ නැති වුනත් තනියම යන්න පුළුවන් ෆිල්ම් එකක් බලන්න. එත් විශ්වාසය නැති වුණාම?

බලාපොරොත්තු අපිව ජීවත් කරනවා. අපේ හිතේ හීන මාලිගා හදනවා. දුකා අයියා කියන විදියට සිය දිවි නසා ගන්න හිතුනත් බලාපොරොත්තු අපිව ජීවත් කරනවා. යාළුවෝ කියන්නේ අපේ දුකට සැපට අපිත් එක්ක ඉන්න අය. නවම් අයියා කියන විදියට යාළුවෝ නැත්තම් කළකිරීමක් අවසන් වෙන්නේ ජීවිතයක් එක්කමත් වෙන්න පුළුවන්. මොනවා වුනත් අපි යාළුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා උදව්වක් අවශ්‍ය වුණාම අපේ වටේට යාළුවෝ එකතු වේවි කියලා. ඒ වගේම හොඳම යාළුවෝ කවදාවත් අපිට පිටුපාන්නේ නැති වේවි කියලා ඕනෑම කෙනෙක්ගේ හිතේ කොනක හරි සියුම් බලාපොරොත්තුවක් තියනවා. අපි කාටහරි උදව්වක් කළාම අපි හිතනවා අපිට කරදරයක් වුණාම එයාලත් උදව් කරාවි කියලා.

මිතුරු මිතුරියෝ පිලිබදව ඇති කරගන්නා බලාපොරොත්තු, විශ්වාසය වැඩි වුණාම එක පොඩි දෙයකට පුළුවන් මහා කළකිරීමක් ඇති කරන්න. ඒ කළකිරීම බෝම්බයක් වගේ පුපුරන්න අවශ්‍ය වෙන්නේ චුටිම චුටි තරහ සිතුවිල්ලක් විතරයි. ඒ නිසා මම ජීවිතේ පළවෙනි වතාවට පාසලේ ගුරුවරුන් සමඟ ගැටුමක් ඇති කරගත්තා. ඒ මම පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුනත් මවගේ අවමගුල් උත්සවය සඳහා පාසලෙන් බැනරයක් ලබාදීමට කල් ගත වූ නිසා. ඒ දවසේ ඒ තරහ පිටකරගත් ආකාරය තාමත් මම සිහිකරන්නේ කළකිරීමකින් සහ සිත් වේදනාවකින්.

බලාපොරොත්තු, විශ්වාසය සහ මිතුරු මිතුරියෝ.......

මේ වචන තුන එකතු වුණාම තියන භයානක තත්වය එකයි. මේකට විසඳුම කිසිම යාළුවෙක් විශ්වාස නොකිරීමද? එහෙම නැත්තම් තමන් හිසට තම අතමය සෙවනැල්ල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමද? තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මිතුරු මිතුරියන්ට උදව් කළත් නැවත එයාලගෙන් කිසිවක් බලාපොරොත්තු නොවීම තමා හරිම දේ කියලා. හරි දේ මොකක්ද කියන්න මම තාම පොඩි වැඩියි.

"deeps අපේ ගෙදර එන්නකෝ. අපේ ගෙදර පාටියක් ලබන සතියේ "
"හා මම එන්නම්"
----------------------------------------------------------------------------------------------
"අනේ මට එන්න බැහැ. මම ඉන්නේ දොස්තර ළඟ. මෙඩිකල් එකක් ගන්න ආවා."
"ඉතින් ඔයාගේ වැඩ කරගෙන එන්න"
"මට ඒවා ඉවරකරගන්න ගොඩක් වෙලා යාවි"

පාළමෙන් එගොඩ වුණත් කාන්තාව එදා වෙනකන් කරේ තියාගෙන හිටියේ මම රහත් වෙලා නැති නිසා.

සඳුනිට, නිමාලිට සහ අනෙක් යෙහෙළියන්ට deepsව අමතක වෙන්න ඇති, එහෙම නැත්තම් එයාලට deepsව එපා වෙලා ඇති. එත් කමක් නැහැ,
දැන් ඒ කාන්තාව පාළම ළඟ.

ප.ලි : කට්ටිය දන්නවා නේද අර රහතන්වහන්සේ නමක් කාන්තාවක් කරේ තියාගෙන පාළමෙන් එගොඩ වුණ කතාව?


ප.ප.ලි : හැබැයි deeps තාම රහත් වෙලා නැහැ. 

8 comments:

  1. බලාපොරොත්තු,විශ්වාසය හා යාළුවෝ...අක්කගේ අර්ථ දැක්වීම හරියට හරි...ඔය තුනම ඒකාකාරව තියාගෙන යන්න පුළුවන් යාළුවෝ ඉන්නේ අපේ ජීවිත වල කීපදෙනයි....

    මගේ හැටි නම් අක්කේ උදව්වක් ඕන වෙලාවට අවශ්‍ය ඕනම උදව්වක් පුළුවන් උපරිමෙන්ම කරලා දීලා පාඩුවේ ඉන්න එක....ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන එක එක අතකට බොරු වැඩක් අක්කේ...මොකද හැම කෙනාම එක වගේ හිතන්නේ නෑනේ....

    ReplyDelete
  2. මම අදනේ මේක දැක්කේ.. අක්කා මම නම් දැන් ඕනවට වඩා කාවවත් විශ්වාස කරන්න යන්නේ නෑ.. අපි හැමෝම වෙනුවෙන් ඕන වෙලාවක හිටියාට ‍ගොඩක් අය එහෙම නෑ.. අහලා ඇතිනේ "කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල" කියල කියමනකුත් :) ලොකු කතා කියාගෙන‍ ලෝකයාට එක චරිතයක් පෙන්නුවාට ඇතුලේ ඉන්නේ ඒ චරිතය නෙවෙයි.. බ්ලොග් අවකා‍ශයෙනුත් ඕන තරම් හොයා ගන්න පුලුවන් එහෙම අය :P අනුන් ගැන හිතන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගෙන හිටියා නම් හරි.. සමහරු නම් එතකොට කියාවි ආත්මාර්ථකාමී කියලා.. ඒත් ඉතින් අනිත් අයත් එහෙම නම් අපි මොකටද නිකන් දෙන්න යන්නේ :)

    ReplyDelete
  3. යාලුවො ඇතුවත් බෑ නැතුවත් බෑ Deeps. එයාල කවුද කියල හරියට දැනගෙන ආශ්‍රය කරන්න පුලුවන්නම් ඒක තමයි කරන්න පුලුවන් උපරිම දේ. යාලුවො වැඩි වුනාමත් කරදරයි. මොකද අද මිනිස්සු තමන්ට වැඩි වාසියක් තියෙන තැනක් දැක්කම එතනට තමයි රොක් වෙන්නෙ. ඒ වගේම නැග්ග ඉනිමගට පයින් ගහන්නත් එයාල අමතර කරන්නේ නෑ. එහෙම මිනිස්සුත් ආශ්‍රය කරල බලන්න. අර කතාවක් තියෙන්නෙ අතේ දුරින් තියාගන්න කියලා. අන්න ඒ විදියට. බැඳීම් වැඩි වුන තරමට වෙන් වීම් දුකයි. ජීවිතේට එක හොඳ යාලුවෙක් හරි දෙන්නෙක් හරි හිටියම ඇති කියලයි මම හිතන්නේ. 

    ReplyDelete
  4. මගේ අදහසනන් Deepz  කිසිකෙනෙක්ගෙන් කිසිදෙයක් බලාපොරොත්තු වෙන්න හොද නෑ අපිට පුලුවන් උදව්වක් කරලා එයාලගෙ දුක සතුට බෙදා‍ගෙන හිටියාම හරි.

    ReplyDelete
  5. සහතික ඇත්ත ඔයා කියන කතාව මල්ලී...

    ReplyDelete
  6. ඔව් අයියා...එත් ඔය ගැලපෙන විදිය හොයාගන්න නම් ගොඩාක් කල් යනවා..

    ReplyDelete
  7. දුක් වෙන්න එපා.. සමාජයේ ජීවත් වෙන අය විවිදාකාරයි. ඒ වුනත් අපි ඒ ගැන හිතලා දුක් වෙලා වැඩක් නෑ. අපි කරන්න ඕන ඒ බව තේරුම් අරගෙන ඒ ඒ අයට ගැලපෙන විදියට ඒ අයත් එක්ක ජීවත් වෙන එකයි. අපිට බෑ හැමෝටම ගැලපෙන එකම විදියකට ජීවත් වෙන්න.

    ReplyDelete
  8. මේ වැනි සිද්දි වලට නොඅඩුව මුහුණ දීලා තියෙනවා. අනේ මන්දා.. අර කිවුවා වගේ අපි තාම රහත් වෙලා නැහැනේ :(

    ReplyDelete