Monday, July 4, 2011

[ රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - තෙවන අදියර ] - සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම

මේ ලිපිය රැකියාවක් සොයාගැනීම යටතේ ලියවෙන ලිපි මාලාවේ තෙවන සහ අවසාන ලිපියයි. මීට පෙර ලියැවුනා ජීව දත්ත සටහන සුදානම් කරගන්නා ආකාරය සහ සම්මුඛ පරීක්ෂණයට සුදානම් වෙන ආකාරය. අද ලිපියෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී හැසිරිය යුතු ආකාරය ගැන කතා කරන්නයි සූදානම.



මේ අවස්ථාවට මුහුණ දෙන්න සුදුසුකම් ලැබුවා කියන්නේ තරගයේ සියයට 75 ක් විතර ඉවරයි කියන එක. ඉතුරු 25 තීරණය වෙන්නේ තමන් තමන්වම market කරගන්නා විදිය අනුව. ඒ වැඩේ කොහොමද කරන්නේ? තමන් රස්සාවට සුදුසුම පුද්ගලයා කියලා පෙන්නන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම ආයුධය  තමා ආත්ම විශ්වාසය. තමන්ට එන්න කියලා පණිවිඩය ලැබුනම බය නොවී කොන්ද කෙලින් තියාගෙන සිනහ මුසු මුහුණින් පැනල් එක ලඟට යන්න. අතට අත දී එකිනෙකාට සුබපතාගන්න. හැබැයි පැනල් එකේ සිටින පුද්ගලයන් අතට අත දීමක් සිදු කලේ නැත්තම් ඔබ එසේ කරන්නට යන්න එපා. ඒ වෙනුවට සුභ උදෑසනක් වැනි වෙලාවට ගැලපෙන සුභ පැතීමක් භාවිතා කරන්න. අතට අත දීමක් සිදු කරනවා නම් අත රිදෙන තරමට අත මිරිකීමක් සිදු කරන්න එපා. සාමාන්‍යයෙන් දැනෙන පරිදි අත අල්ලා අතට අත දීමක් සිදු කරන්න. ඒ වගේම අත පිරිසිදුව ඇති බවට වග බලාගන්න. හොඳටම බයවෙලා දාඩිය ගලලා තියන අතකින් අතට අත දීමක් සිදු කලොත් මොනවා වේවිද කියලා හිතන්න පුළුවන් නේ. ඒක නිසා සැලකිලිමත් වෙන්න තමාගේ බාහිර පෙනුම වගේම තමන්ගේ හැගීම් ගැනත්. බය වෙන්න එපා. බය වුනොත් දාඩිය දානවා, මුණ රතු වෙනවා. අන්තිමට වෙන්නේ අර love at first sight, hate at first sight  බවට පත් වෙන එක. තව දෙයක්, අතින් කටින් බෑග් මලු උස්සගෙන ගියෝතින් ඔය කිසි දෙයක් කරන්න බැරි වෙනවා, සහතික ආදිය ගෙනයන්නේ නම් ඒවා පහසු ආකාරයට අසුරාගන්න.සම්මුඛ පරීක්ෂණය නිම වූ සැනින්  එහි සිටින  හැම කෙනෙක්ටම ස්තුති කර හැකි  ඉක්මනින්  එම ගොඩනැගිල්ලෙන්  පිට වෙන්න. නැත්තම් අනිත් අයදුම්කරුවන් අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සිදු වේවි එපා වෙනකන්ම.


අහන ප්‍රශ්න ගැන ඊළඟට බලමු. ඕනෑම සම්මුඛ පරීක්ෂනයකදී අහන ප්‍රශ්නයක් තමා my self. දෙක වසරේ ඉඳලා ඕක ලියලා පුරුදුයිනේ කියලා අපි කරන්නේ නම, ගම, ඉස්කෝලේ, වයස, උපන්දිනය වගේ තොරතුරු ටික ගිරා පැටව් වගේ කියන එක. කියන්න තියන දේවල් ඔක්කොම කියලා ඉවර වුනත් ඉන්ටවීව් පැනල් එකේ අය තවත් මොනවා හරි කියාවි කියන බලාපොරොත්තුවෙන් ඉන්න බව කවදාවත් දැනිලා තියනවද? නිකමට හිතන්න අපි ඒ ගිරා පැටව් වගේ කියවන්නේ අපේ ජීව දත්ත සටහනේ විස්තර ටික නේද? ඒ විස්තර දැනටමත් සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන්නා දන්නවා. අපිට පුළුවන් තමන් ගැන කියන්න හම්බවෙන කාලය ජීව දත්ත සටහනේ නැති අලුත් තොරතුරු ටිකක් ඒ වෙලාවේදී ඉදිරිපත් කරන්න.


ඒ ප්‍රශ්නෙට පස්සේ රැකියාවේ ස්වභාවයට අනුව විවිධාකාර ප්‍රශ්න ඔබට යොමු වේවි. ඒ හැම ප්‍රශ්නයක්ම සිනාමුසු මුහුණින් පිළිගන්න. උත්තරයක්‌ දන්නේ නැති ප්‍රශ්නයක් ඇහුවොත් පුළුවන් ආකාරයට උත්තර දෙන්න බලන්න. උත්තර දෙන්න බැරිම නම් කෙලින්ම කියන්න මම උත්තරේ දන්නේ නැහැ කියලා. බොරු උත්තර දෙනවට වඩා ඒක නම්බුකාරයි .ඒ වගේම ඔබට යම්කිසි ගැටළුවක් ඇත්නම් ඒවා ගැන ඔවුන්ගෙන් අසා දැනගැනීමට පුළුවන්. මතක තබා ගත යුතු වැදගත්ම දේ තමා සම්මුඛ පරීක්ෂණයක් කියන්නේ ඇත්ත කතා කරන අයව අගයන අවස්ථාවක්. සම්මුඛ පරීක්ෂනයෙදී කියන බොරු, රැකියාව කරන අතර තුරදී හෝ ඔබේ ප්‍රධානියාට දැනගන්නට ලැබෙනවා සිකුරුයි. එවැනි අවස්ථාවකට මුහුණ දෙනවාට වඩා සම්මුඛ පරීක්ෂණයේදී සත්‍ය ප්‍රකාශ කිරීම නුවණට හුරුයි.


සමහර වෙලාවට නොනවත්වා ඔබට ප්‍රශ්න යොමු වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකින් ඔබ පීඩනයක් දරාගන්නේ කොහොමද කියන එක ඔවුන් නිරීක්ෂණය කරනවා. අහන සියලුම ප්‍රශ්න මතක තියාගෙන එකින් එකට ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔබ පිළිතුරු දෙන හැම වෙලාවකදීම පැනල් එකේ සිටින  සියලු දෙනා සමඟ හෝ ප්‍රශ්ණය ඇසු පුද්ගලයා සමඟ මනා අක්ෂි සම්බන්ධතාවක් පවත්වාගන්න. බිම බලාගෙන, එහෙම නැත්තම් සිවිලිම දිහා බලාගෙන කතා කරන කෙනෙක් නම් ඔබගේ පෞර්ශත්වය පිළිබඳව ඔවුන්ට ගැටළුවක් ඇති වේවි. කිසිම වේලාවකදී සම්මුඛ පරීක්ෂණ මෙහෙයවන්නා දෙස බයෙන් බලන්න එපා. අපි වගේම ඔහුත් මනුෂ්‍ය ජීවියෙක්. අපගේ සහ ඔහුගේ එකම වෙනස අප එකම මේසයේ එකිනෙකාට විරුද්ධව අසුන් ගෙන සිටීම. අද ඔබ ඉදගෙන ඉන්නා අසුනේ ඔහුත් කවදා හෝ අසුන් ගෙන ඇති. ඒ නිසා ඔහු අනිවාර්යෙන් දන්නවා ඔබට සිතෙන විදිය, ඔබේ හදවතේ ගැස්ම ඔවුන් දන්නවා.


කෙනෙක් කලබල වුනාම කියන්න තියන දේ අමතක වෙනවා කියලත් ඔවුන් දන්නවා. ඒක නිසා එක් ප්‍රශ්නයකට උත්තර දෙන්නට බැරි වූ නිසා තමන් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් කරාවී යැයි බියට පත්වන්නට එපා. ලැබෙන හැම ප්‍රශ්නයකටම හැකි තරමින් හොඳ පිළිතුරක් ලබා දෙන්න.


එකිනෙකා සැබැවින් හමුවී කරනා සම්මුඛ පරීක්ෂණ වලට අමතරව වර්තමානයේ දුරකථන සහ ස්කයිප් හරහා සම්මුඛ පරීක්ෂණ සිදුවෙන අවස්ථා බොහොමයක් දකින්නට පුළුවන්. එවැනි සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීම සඳහා වෙනම පුහුණුවක් අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් සහ වෙලාවක් ලැබුණු වෙලාවේ පටන් ඒ සඳහා සුදානම් වන්න. ස්කයිප් හරහා සිදුවන පරීක්ෂණයක් නම් පරීක්ෂණය ආරම්භ වීමට කලින් තමා සිටින වට පිටාව බාධාවකින් තොර , හොඳ ආලෝක තත්වයකින් යුතු එකක් බව සනාථ කරගන්න. හොඳ තත්වයේ මයික්රෝෆෝනයක් සොයා ගන්න. ශබ්ද පරීක්ෂණයක් කර බලා නියමිත ආකාරයට සැකසුම් පිහිටුවා ගන්න. ඒ අතර තුර යම්කිසි හදිසි තත්වයකදී කල යුතු දේවල් සැලසුම් කරගන්න. උදා: හදිසියේ විදුලි බලය ඇනහිටීමක් සිදු වුවහොත් ? හදිසියේ ශබ්ද සැකසුම් හෝ වීඩියෝ සැකසුම් වෙනස් කරගන්නට සිදුවුව හොත් ඒවා තනියම කරගැනීමට හැකියාව සහ පළපුරුද්ද ලබාගන්න. වීඩියෝ රහිතව සම්මුඛ පරීක්ෂණය පවත් වන්නේ නම් අප වඩාත් සැලකිලිමත් විය යුතුයි. ගොත ගැසීමකින් තොරව,පැහැදිලිව, නිවැරදිව අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමට සිදුවෙනවා වගේම කලින් කියපු ආත්ම ශක්තිය, විශ්වාසය ඔය ඔක්කොම දේවල් අපිට පෙන්නන්න වෙන්නේ කටහඬ හරහා. අන්න ඒක නිසා තමා පෙර පුහුණුවක් අවශ්‍ය වෙන්නේ දුරකථනය හරහා හෝ ස්කයිප් හරහා කරන සම්මුඛ පරීක්ෂණ වලට. මේ දෙකේම වාසි පැත්තකුත් නැතිවාම නොවෙයි.


පළවෙනි වාසිය තමා ගෙදරින් පිට යන්න අවශ්‍ය නොවීම. හැබැයි ඔය සිග්නල් නැති පළාත් වල උදවියට නම් මේක අදාළ වෙන්නේ නැහැ හොඳේ. සිග්නල් නැත්තම් සිග්නල් තියන තැනකට ගිහින් කෝල් ඒක එනකන් බලාගෙන ඉන්න. අනික් වාසිය තමා ශේප් එකේ ගූගල් අයියා උදව්වට ගන්න තියන හැකියාව. සමහර  වෙලාවට ඔය සාමාන්‍ය දැනීම ප්‍රශ්න එහෙමත් අහනවනේ, අන්න ඒ වගේ වෙලාවට නම් මේ ජාතියේ ඉන්ටවීව් ෂෝයි.අවාසිය තමා තියන ඔක්කොම සෙල්ලම් දාන්න වෙන්නේ දුර ඉදන් වීම. ලස්සනට ඇඳගෙන ගිහින් පැනල් එකේ ඉන්න අයගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න තියන අවස්ථාව අහිමි වෙනවා කියන්නේ අපිට අමතර ශක්තියක් සහ වෑයමක් යොදන්න වෙන එක. කටහඩින් පෞර්ශත්වය පෙන්නන්න එකත් ලේසි නැහැ. අන්න ඔතෙන්දි තමා පුහුණුව වැදගත් වෙන්නේ.


යහළුවෙක්ට කියන්න පුළුවන් තමන්ගෙන් ප්‍රශ්න අහන්න කියලා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණය හිතින් මවාගන්න පුළුවන්. පරීක්ෂණය සඳහා නම කතා කරන අවස්ථාවේ සිට පරීක්ෂණය අවසානයේ ගොඩනැගිල්ලෙන් නික්ම යන තුරු හිතින් මවාගෙන පුහුණු වෙන්න පුළුවන්. හිතින් මවාගන්න පුළුවන් තමා සාර්ථකව සම්මුඛ පරීක්ෂණය නිම කළා කියලා. එහෙම කලාම යටි සිත කොහොම හරි උත්සහ කරනවලු ඇත්ත සම්මුඛ පරීක්ෂණයත් සාර්ථකව නිමා කරන්න.


මෙතනින් මේ ලිපිය හමාර කරනවා. ඒ කතාවේ ඇත්ත නැත්ත හොයන එක ඔයාලට භාරයි! 
ප්‍රතිචාර හරහා තවත් කතා කරමු..

5 comments: