Saturday, October 1, 2011

රේල් පාර දිගේ 3 - සිංහ කට සිට බලන දක්වා

කඩුගන්නාව සිට ඉහල කෝට්ටේ දක්වා පයින් ගිය ගමනේ කොටස් දෙකක් පසුගිය දිනවල පළවුනා. ගමනට සුදානම් වීම සහ කඩුගන්නාවේ සිට සිංහ කට දක්වා ගමන ගැන ඔබ කියවන්නට ඇති. සිංහ කටේ සිට ඉදිරියට ගමන ගැනයි අද ලිපිය.

සිංහ කටට ඒ නම වැටී ඇත්තේ ඈත සිට බලනවිට සිංහ කටක් ලෙස එම ගල දෙබුක්කාව දර්ශනය වීමයි. සිංහ කටෙන් මදක් ඉදිරියට ගිය විට අපට හමුවෙනවා අංක 10 දරන අඩි 56 ක දිගකින් යුතු බිම් ගෙය. මෙයට යොදා ඇති අන්වර්ථ නාමය අලි පස්ස නොහොත් elephant back යන්නයි. අලියෙකුගේ පසුපස කකුලක් ආකාරය බෑවුම දෙසට ඇති බිම් ගෙයි බිත්තිය දර්ශනය වීම එලෙස අන්වර්ථ නාමයක් ලැබීමට හේතුවයි.

බිම් ගෙයට ඇතුල්වීම = අලියාගේ  බඩ යටින් රිංගීම 
මෙන්න සමීප පින්තුරයක්. මෙම බිම් ගෙවල් ඇතුලත ගල් බෝර සලකුණු තවමත් පෙනෙන්නට තියෙන්නේ එදා  දුම්රිය කම්කරුවන්ගේ වෙහෙස මහන්සියේ සලකුණු වගේ. අවාසනාවකට එක් කැමරාවක වත් එම ගල් බෝර සලකුණු සටහන් වෙලා තිබුනේ නැහැ.

අලි පස්ස 
අලි පස්ස ඔස්සේ එන කෝච්චියක් දිස් වෙන්නේ මෙහෙමයි.

අලි පස්ස අස්සෙන් කෝච්චියක් 


අප සිංහ කටට ළඟාවන වන විට තිබු මීදුම් පටලය මේ වනවිට අතුරුදහන් වෙලා. ඒ නිසා අපට හැකි වුනා පින්තුර කිහිපයක් ගන්න මේ අවට. අලි පස්ස අස්සෙන් ඉදිරියට ගොස් පසුපස බැලු විට අපට පෙනුනේ මේ වගේ දර්ශනයක්.
කොළඹ සිට පැමිණෙන විට අලි පස්ස 

මේ වන විට වැස්ස පායා තිබුනත් කූඩැල්ලන්ගෙන් එල්ල වූ ප්‍රහාර නම් අඩු වුනේ නැහැ. අපේ කණ්ඩායමේ සමහරුන් අත් කකුල් වල සබන් තවරාගෙන ගමනේ මීළඟ කොටසට සුදානම් වුණේ අලි පස්ස පසු කලාට පසුවයි.

තව ටික දුරක් ඉදිරියට යන විට අපේ ගමනේ තවත් වැදගත් ස්ථානයක් වන අඩි 622 දිග 9A බිම් ගෙය පෙනෙන්න ගත්තා.


9A බිම් ගෙය 
මෙම බිම් ගෙයට 9 A කියා නම වැටීම පිටුපස ඇත්තේ අපූරු කතාවක්. ආදි කාලයේ දුම්රිය පාර නිර්මාණය කරන විට මෙම ස්ථානයේ බිම් ගෙයක් තිබී නැහැ. ඒ වෙනුවට දුම්රිය ගමන් කර ඇත්තේ බිම් ගෙයට වම් පසින්. නමුත් පසු කාලයක ගල විද මෙම ස්ථානයේ බිම් ගෙයක් නිර්මාණය කර තිබෙනවා. මෙම නව බිම් ගෙය නම් කිරීම පිලිබඳ වූ ගැටලුව විසඳාගෙන තිබෙන්නේ 9 A ලෙස එය බවුතීස්ම කිරීමෙන්. ඒ අනුව නුවර දෙස සිට යනවිට හමුවන බිම් ගෙවල් අනුපිලිවෙල 10, 9 A, 9 බවට පත් වෙනවා. මෙම බිම් ගෙය තරමක් දිගින් යුක්ත වීම නිසා අපි බිම් ගෙය තුලට නොයා මද වෙලාවක් මෙතැන නතර වුණා. වෙහෙස නිවා ගැනීමෙන් අනතුරුව අපි නැවතත් ගමන ආරම්භ කළා.

ෆොටෝ කෙරුවාව 
මෙම බිම් ගෙය ඇතුළත ඉතාමත් කළුවරයි. දිග වැඩි නිසා ගම් වැසියන් භාවිතා කරන හුළු අතු අපට දැකගන්න පුළුවන් වුණා බිම් ගෙයට ඇතුල් වෙන සහ පිට වෙන අන්තයන් වල. මේ හුළු අතු භාවිතා කිරීමට අපට හැකියාව තිබුනත් පුරුද්දක් නැති නම් හුළු අතු භාවිතා කිරීමෙන් වැළකීම නුවණට හුරුයි. බිම් ගෙය ඇතුලතදී අප මදකට සියලුම විදුලි පන්දම් නිවා බැලුවා. තමන්ට මිලි මීටරයක්‌ ලඟින් සිටින පුද්ගලයාවත් නොපෙනෙන ඒ තිත්ත කළුවර මට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. එවන් කලුවරක් ජීවිතයේ ප්‍රථම වතාවට මම අත් වින්දේ 9 A බිම් ගෙය ඇතුළදී.

ආලෝකය සොයා 

බිම් ගෙයක් ඇතුළත ගමන් කල යුතු ආකාරය කලින් ලිපියක සඳහන් කල නිසා නැවත ඒ තොරතුරු මෙහි ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් පැවසිය යුත්තක් තිබෙනවා. ගමන යෑමට කලින් දුම්රිය කාල සටහන් පිළිබඳව අවබෝධයකින් යා යුතුයි. මෙවන් බිම් ගෙයක් තුලදී දුම්රියක් මුණ ගැසීම ඉතා භයංකාර සහ අනතුරුදායක සිදුවීමක්. අපේ කණ්ඩායමේ කිහිප දෙනෙක් එවන් අත් දැකීමක් ලබා ගෙන තිබුනා. ඒ ගැන ලියැවුණු බ්ලොග් ලිපියට මෙතනින් යොමු වෙන්නට පුළුවන්.

9 A බිම් ගෙයින් පිටතට පැමිණ පසු පස බැලූ විට අපට තවත් අපූරු දසුනක් දකින්නට ලැබුණා.

රේල් පාර උඩින් යන පීල්ල 
මේ පීල්ල මෙම ස්ථානයට යොදා ඇත්තේ දුම්රිය උඩට වැටෙන වතුර දුම්රිය මාර්ගයෙන් ඉවතට යොමු කිරීමට විය හැකියි. එම බිම් ගෙය පසු කර මද දුරක් යනවිට අපට බතලේගල කන්ද ඈතින් දර්ශනය වුණා.

බතලේගල 
වටාපිටාවේ සුන්දර දර්ශන නරඹමින් පැමිණෙන අපට වෙරළුගොල්ල නැවතුමේදී තවත් දුම්රියක් මුණ ගැසුණා. ඒ පිංකි මැණිකේ (කෝච්චියාට අනුව). රෝස පැහැය නිසා මෙම දුම්රියට පිංකි මැණිකේ කිව්වත් මෙයාගේ රාජකාරිය නම් ලෙහෙසි පහසු එකක් නෙවේ. සති අන්තයේදී නුවර දෙසට පැමිණෙන ජනතාවට මෙයා ලොකු සහයක් දක්වනවා.

පිංකි මැණිකේ 
වෙරළුගොල්ල වැනි කුඩා දුම්රිය නැවතුම් මෙම පළාතේ ජනතාවට නම් බස් නැවතුම් වගේ. බස් නැවතුම් වල ටිකට් ගන්නට කවුන්ටරයක් නැත්තා සේම මෙවන් කුඩා දුම්රිය නැවතුම් වලද ටිකට් ගැනීමට පහසුකමක් නැහැ. මෙම දුම්රිය නැවතුම් භාවිතා කරන පුද්ගලයින් සමහර විට දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කරනවා ඇති. නො එසේ නම් කෙටි දුර දුම්රිය වලදී දුම්රිය ඇතුළේදී ටිකට් ගැනීමට පහසුමක් ඇති. එසේම මෙම ගම් වලට ඇති එකම ප්‍රවාහන මාධ්‍යය දුම්රියයි. 

වෙරළුගොල්ල නාම පුවරුව 
වෙරළුගොල්ල පසු කර ටික වෙලාවකින් ගමනේ හමුවන දිගම බිම් ගෙය අපට දර්ශනය වුණා. අංක 9 දරණ මොරගොල්ල බිම් ගෙය ලෙස මෙම බිම් ගෙය හඳුන්වනවා. දිග අඩි 1049 ක්. ගමනේදී හමුවූ තේජවන්ත බිම් ගෙය ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. තනි කළු ගලක් හාරා නිර්මාණය කළ මෙම බිම් ගෙය සැබවින්ම අපූරු නිර්මාණයක්.

මොරගල්ල බිම් ගෙය 
මොරගල්ල බිම් ගෙය ඇතුලතදී ගත් මෙම පින්තූරය බිම් ගෙය තුළ ඇති ආලෝක තත්වය ගැන ඔබට අදහසක්  ලබා දේවි.

කට්ට කරුවල 
බිම් ගෙයි අනික් කෙළවර අපට පෙනුණේ මෙහෙමයි. 

මොරගල්ල බිම් ගෙය 

අප ඇතුළු වූ කෙළවර කළු ගල හෑරීමෙන් සෑදු කුහරයක් ලෙස දිස් වුවත් මෙම කෙළවර සිමෙන්ති ආරුක්කුවක් යොදා ශක්තිමත් කර තිබුණා. සිමෙන්ති ආරුක්කුවේ සඳහන් වී තිබූ ආකාරයට එය නිර්මාණය වී තිබෙන්නේ 1990 දී.

1990 සිට 2011 දක්වා 

බිම් ගෙය දෙපස බිත්ති කඩා වැටීමේ තර්ජනයකට මුහුණ දුන් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට මෙවැනි පියවරක් ගැනීමට සිදු වූ බව දැනගන්නට ලැබුණා.

මෙම බිම් ගෙය පසු කිරීමෙන් අනතුරව ක්‍රීම් ක්‍රැකර් සාදයක් පවත්වන්නට ඒක මතික තීරණයක්!

පොඩි බඩගින්නට සුපිරි!

මොරගල්ල පසු කර බලන දුම්රිය ස්ථානය පෙනෙන තෙක් මානයෙදී අපට හමුවුණා උඩරට මැණිකේ.  අපේ කණ්ඩායමේ අය එම දුම්රියේ පින්තුර ගන්නා ආකාරය වෙනත් කැමරාවක සටහන් වුණේ මෙහෙමයි.

පින්තූර ගැනීමේ කලාව 
කතාවෙන් කතාවෙන් අපි බලනටත් ඇවිත්.

බලන 
බලන දුම්රිය ස්ථානය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 1005 උසින්. අපි ගමන ආරම්භ කළ කඩුගන්නාව දුම්රිය ස්ථානයේ පිහිටීම මුහුදු මට්ටමින් අඩි 1690 ක්. දුම්රිය ස්ථාන දෙක අතර ඇති දුර කිලෝ මීටර 4.51 ක්. 

අඩි 685 ක බෑවුමක් බසිමින් අපව කඩුගන්නාවේ සිට බලන දක්වා රැගෙන ආවේ මෙන්න මෙයාලා.

ඇවිද්ද පය දහස් වටී
බලන සිට ඉහළ කෝට්ටේ අංක 8 බිම් ගෙය දක්වා චාරිකාවෙන් නැවත හමු වෙමු!


මීළඟ ලිපි
රේල් පාර දිගේ 4 - බලන සිට අංක 8 බිම් ගෙය දක්වා
රේල් පාර දිගේ 5 - අංක 8 බිම් ගෙය සිට ඉහළ කෝට්ටේ දක්වා

12 comments:

  1. Prasanna KarunarathnaOctober 1, 2011 at 9:45 PM

    යන්න නම් ආසයි... ඒත් වෙලාවක්....!

    ReplyDelete
  2. ටෝච් නිවමු කිවුවම කට්ටිය බයේ කෑ ගැහුවා හැබැයි :D

    ReplyDelete
  3. අ - හිංසක සිංහයාOctober 2, 2011 at 1:50 AM

    අර යටිගිරියෙන් කෑගැහුවේ දීප්ස් අක්කා නේද ........:D

    ReplyDelete
  4. අ - හිංසක සිංහයාOctober 2, 2011 at 1:52 AM

    එළ එළ අක්කේ ඉතුරු ටිකත් ඉක්මනට දාන්න .......:D

    ReplyDelete
  5. අ - හිංසක සිංහයාOctober 2, 2011 at 1:53 AM

    හැබැයි අර බිස්කට් , චොකලට් හංගගත්ත එකනම් කැත වැඩේ හරිය ..........:P

    ReplyDelete
  6. ගමන නියමයි. මෙවැනි ගමන් කිරීමට ආසා ඇති පිරිස ඉතා අවමයි. :-)
    අපද ග්‍රේට් වෙස්ටර්න් සිට ඉදල්ගස්හින්න දක්වා රේල් පාර දිගේ ගිය අතදැකීම පහත ලිපියේ ඇත.
    http://www.footsteps.lk/pages/railParaDige/index.php

    ReplyDelete
  7. ඔබගේ ලිපිය බැලුවා.ස්තුතියි අත්දැකීම් බෙදා ගත්තට 

    ReplyDelete
  8. කවුද කවුද එහෙම ජරා වැඩ කලේ? :O

    ReplyDelete
  9. ඉතුරු කොටසත් අද දැම්මා :)

    ReplyDelete
  10. අනේ අපි නම් නෙවේ :P

    ReplyDelete
  11. ඈ?? මම කෑ ගැහුවා? මට වත් ඇහුණේ නෑනේ කෑ ගහනවා 

    ReplyDelete
  12. හෙහෙ වෙලාවක් නෑ කිව්වොත් නම් නෑම තමා. මාත් මේ ගමන ගියේ විභාගේ කට උඩ තියාගෙන.

    ReplyDelete