Monday, October 3, 2011

රේල් පාර දිගේ 5 - අංක 8 බිම් ගෙය සිට ඉහළ කෝට්ටේ දක්වා

රේල් පාර දිගේ කතා මාලාවේ අනෙක් කොටස් ඔබ කියවා නැති නම් පහත සබැඳුම් ඔස්සේ ඒවාට යොමු විය හැකියි.

අංක 8 බිම්ගෙය ඉදිරිපසදී සමුහ ඡායාරූපයකට මුහුණ දුන් අපි ඉතා කෙටි කාලයකින් එය තරණය කළා.

අංක 8 බිම් ගෙයට ඇතුල්වීම 
මෙම බිම් ගෙය අඩි 243 කින් යුතු බිම් ගෙයක්. අප ඇතුල් වූ බිම් ගෙයි කට ආරුක්කු හැඩයක් ගත්තත් අපි පිට වුණේ හතරැස් හැඩයක් ඇති බිම් ගෙයකින්. ගමන පුරාවට මා දුටු හතරැස් හැඩයක් ඇති එකම බිම් ගෙය මෙයයි.

අංක 8 - පිටවීම 
අංක අට බිම් ගෙයින් පසු අප පසු කළේ දෙබුක්කාවක් මැදින් වැටී තිබුණු රේල් පාර. කොළ පැහැයෙන් පිරුණු එම ප්‍රදේශය සිතටත් ගතටත් ගෙන දුන්නේ විවේක සුවයක්.

හරිත පරිසරය 
මෙම ප්‍රදේශය පසු කිරීමෙන් අනතුරුව අපට හමු වුණේ ඉතාම සුන්දර ප්‍රදේශයක්. වචනවලට වඩා පින්තූර බලවත් නිසා පින්තූර කිහිපයක් ඉදිරිපත් කරන්නම්.


බතලේගල කන්ද

පහල තිබූ කුඹුරු
බතලේගල තවත් ඇසකින් 

රේල් පීලී අතර තිබූ කුඩා මලක්

උතුවන් කන්ද

රේල් පාරේ ජීවිත 
අපට රේල් පාර දිගේ ඇවිදීම චාරිකාවක් පමණක් වුනත් මේ ප්‍රදේශයේ ජනතාවට නම් එය එදිනෙදා ජීවිතයේ තවත් කොටසක්. Sensational rock යැයි හඳුන්වන මෙම ප්‍රදේශයේදීත් අපිට දුම්රියක් මුණ ගැසුණා.

ෆොටෝ ගන්නට මහන්සිය 
මේ දුම්රිය අප පසු කරගෙන යනතුරු මා සිටියේ කළුගලට හේත්තු වීගෙනයි. දුම්රිය අප පසු වී ගිය පසු මගේ ටී ෂර්ට් එක පුරා මගියෙකුගේ කෙළ විසිරී තිබුණා. කවුරු හෝ වුමනාවෙන්ම කෙළ ගසන්නට ඇති, නො එසේ නම් පිටත නොබලා මගියෙකු ගැසූ කෙළ පහරක් මගේ ටී ෂර්ට් එක මතට පතිත වන්නට ඇති. කෙසේ වෙතත් ඒ සිද්ධියට අදාළ කරුණු දෙකක් ඔබ සමඟ බෙදා ගන්නට සිතුණා.
  1. කිසිම වාහනයක යද්දී පිටතට කෙළ ගැසීම නොකරන්න. වාහනයේ වේගය සහ සුළං නිසා වාහනයෙන් දුර සිටින කෙනෙකුගේ ඇඟේ ඔබේ කෙළ පහර පතිත විය හැකියි. නො එසේ නම් වාහනයේ පසු පස වීදුරුවක්‌ අසල සිටින කෙනෙක්ට ඔබගේ කෙළ පහර වදයක් විය හැකියි.
  2. මෙවන් ගමනයක් යන විට අමතර ටී ෂර්ට් එකක් වැනි දෙයක් රැගෙන යන්න. 
ඉහත ප්‍රදේශය ආවරණය කරන ඉන්දරේගේ panorama පින්තූරය පහතින් බලාගන්න පුළුවන්. ඡායාරූප 22 භාවිත කර නිර්මාණය කර ඇති මෙම ඡායාරූපය විශාල කර නැරඹීම සඳහා මෙම සබැඳිය භාවිතා කරන්න.


sensational rock අවට panorama දර්ශනය 
Sensational rock පසු කර ඉදිරියට යන විට අලගල්ල කන්ද තේජස්වී ලෙස අප ඉදිරියේ දර්ශනය වුණා.

අලගල්ල 
අලගල්ල කන්ද පසුබිමේ අප මීළඟට පසු කරන බිම් ගෙවල් දෙක පෙනුණේ මේ විදියට.

අංක 7 සහ 6 බිම් ගෙවල් 
අංක 7 සහිත මෙහි දැක්වෙන බිම්ගෙය අඩි 133 ක් දිගයි. එය තුලින් පෙනෙන අංක 6 දරණ බිම් ගෙය අඩි 104  ක් දිගයි. 

7 සිට 6 දෙස බැලීම 
එම බිම් ගෙවල් පසු කළ සැණින් අපට නැවතත් හමු වුණේ ගල් දෙබොක්කාවක්. විශාල ගස උපයෝගී කරගෙන දෙබුක්කාවේ එක් පසක සිට අනෙක් පසට පනින වඳුරු රංචු මෙවන් ස්ථාන වල සාමාන්‍ය දසුනක් .

කඳු කපාගෙන ඉදිරියට 
කලින් ලිපියක හමු වුන වෙරළුගොල්ල දුම්රිය නැවතුම ආකාරයේ තවත් කුඩා දුම්රිය නැවතුම් පොළක් වන මා කෙහෙල්වල අපට මීළඟට හමුවූ මාර්ග සලකුණයි. උඩරට සිට පැමිණි දුම්රිය මා කෙහෙල්වලදී නවත්වා නැවත තම ආඩම්බර ගමන ආරම්භ කළේ මේ විදියට.

ආඩම්බර ගමන 
මා කෙහෙල්වල පසු කිරීමෙන් අනතුරුව අලුතෙන් යෙදු කොන්ක්‍රීට් සිල්පර සහිත රේල් පාර අපට හමු වුණා.

අලුත් පාර 
ඉහත රූපයේ පෙනෙන වංගුව පසු කළ විට තවත් අපූරු ස්ථානයක් අපට මුණ ගැසුණා. එක් පසකින් විශාල ප්‍රදේශයක විසිරී තිබූ තැන්නත්, අනිත් පසින් තිබූ කන්දත් අපූරු පරිසරයක් මැව්වේ මේ විදියට.

කන්ද-රේල් පාර-බෑවුම-තැනිතලාව-කන්ද 
මෙම ස්ථානයේදී අපට හමුවූ දුම්රියේ රෝදත් කාසි උඩින් කැරකුණා.

කාසි යටකරගෙන කැරකෙන රෝද 
මෙන්න සාක්ෂි.

රේල් පීල්ලේ කාසි සලකුණු 
අපගේ ගමනාන්තය වන ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට මෙතැන සිට ඉතා ටික දුරක් තිබූ නිසා අවසාන කණ්ඩායම් ඡායාරූපය මෙතැනදී ගනු ලැබුවා.

අපි 
මෙතැන පසු කර විනාඩි පහක පමණ ගමනකින් පසුව සිග්නල් කණු අපිට ආචාර කළා. රේල් පාර දෙකට බෙදී වෙන් වුණේ  අපටත් එකිනෙකාගෙන් වෙන් වන්නට කාලය හරි බව සංකේතවත් කරමින්.

වෙන් වන්නට කාලයයි 
දවසේ චාරිකාව නිමා කරමින් ප.ව. 4.00 ට පමණ අපි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට ළඟා වුණා.

ඉහළ කෝට්ටේ 
කඩුගන්නාවේ සිට ඉහළ කෝට්ටේ දක්වා දුර කිලෝමීටර 9.04 ක් පමණ. කඩුගන්නාවට සාපේක්ෂව ඉහළ කෝට්ටේ අඩි 600 පමණ පහළින් පිහිටා තිබෙන දුම්රිය ස්ථානයක්.

දවසක් තිස්සේ කඩුගන්නාව සිට ඉහළ කෝට්ටේ දක්වා රේල් පාර දිගේ ඇවිදපු ඒ ගමන අමතක නොවන මතකයන් රැසක් අපගේ හදවත් තුළ තැන්පත් කළ අපූරු චාරිකාවක්......... සයිබරයේ ඇති කරගත් මිතු දම් වැඩි දියුණු කරගැනීමට ලැබුණු අගනා අවස්ථාවක්.....දවසේ මතක සටහන් ගැන අප කතා කරමින් සිටියා. එක් වරම අපේ කට හඬවල් අබිභවා දුම්රියක් කතා කළා.

එන්න මාත් එක්ක කොළඹ යන්න 
දුම්රිය ගණනාවක් අපව පසු කරගෙන යන ආකාරය කැමරා වල සටහන් වුනත් මේ දුම්රිය අපේ කණ්ඩායම පසු කරගෙන යන ආකාරය කාගේවත් කැමරාවක සටහන් වුණේ නැහැ. කොළඹ යන පිරිස සමඟ මාත් මේ දුම්රියට ගොඩවී රඹුක්කන දක්වා පැමිණියා. රඹුක්කනින් නැවත මහනුවර දුම්රියක නැගී මා නිවස බලා පැමිණෙන විට බිම් කළුවර වැටී පැය කිහිපයක් ගතවී ගොසින්. ගතට වෙහෙසක් දැනුනත් හිත පිරුණු තවත් එක් දවසක් නිමා වුණේ ඒ විදියට.

බ්ලොග් ලිපි පහක් පුරාවට චාරිකාව සමඟ රැදී සිටි ඔබට සහ එයට  සහභාගී වූ සහ සංවිධානය කළ සැමට ස්තුතියි. 

ඉන්දරේගේ පින්තුරේට කණියාගෙන් හැඩ වැඩක් 

12 comments:

  1. godak lassanai....hatton ..nanu oya patte awidinna giya nam godak asa hitanawa tiyana view walata..gd luck

    ReplyDelete
  2. හරිම ප්‍රයෝජනවත් ලිපි පෙලක් .. ස්තූතියි අපි හැමෝම එක්ක බෙදා හදා ගත්තට !

    ReplyDelete
  3. ඔව් මම දැකලා තියනවා ෆොටෝ වලින් ඒ පැත්තේ ලස්සන. පුළුවන් කමක් තිබ්බොත් යන්න හිතාගෙන ඉන්නේ ඒ පැත්තෙත් 

    ReplyDelete
  4. මේ ලිපි පෙළ කියවලා තවත් කාටහරි රේල් හයික් එකක් යන්න හිතුනා නම් එයයි ලිපි පෙලේ සාර්ථකත්වය.

    ReplyDelete
  5. Prasanna KarunarathnaOctober 3, 2011 at 8:08 AM

    මාර ලස්සනයි....

    ReplyDelete
  6. අක්ෂරේ කට්ටියගේ ලිපියත් අදම පල කරලා. මෙන්න පාර : http://abc-de-z.blogspot.com/2011/10/blog-post.html

    ReplyDelete
  7. ලස්සන ලිපි පෙලක්. හිතට වදින විදියට ලියල තියෙනවා.

    ReplyDelete
  8. අමතක නොවන තවත් අත්දැකීම් ගොන්නක්

    ReplyDelete
  9. අනිවාර්යෙන් :)

    ReplyDelete
  10. අ - හිංසක සිංහයාOctober 3, 2011 at 7:56 PM

    එළ එළ දීප්ස් අක්කා.ඇත්තටම ඒක අමතක නොවෙන සුන්දරම අත්දැකීමක්.කෝ මේ සංවිධායක මන්ඩලය.ආයේ එකක් සංවිධානය කරමු .........:D

    ReplyDelete
  11. සංචාරය කිරීම මගේත් විනෝදාංශක්.ලස්සන සංචාරක සටහනක්....

    ReplyDelete
  12. බොහොම රසවත් ලිපි පෙළක්. මුල් කොටස් පළ වුණු දිනවලම කියෙව්වත් අද තමයි ප්‍රතිචාරයක් දක්වන්න DISQUS ගිණුම අටවගන්න ලැබුණෙ.

    ReplyDelete