Sunday, October 2, 2011

රේල් පාර දිගේ 4 - බලන සිට අංක 8 බිම් ගෙය දක්වා

රේල් පාර දිගේ කතා මාලාවේ අනෙක් කොටස් ඔබ කියවා නැති නම් පහත සබැඳුම් ඔස්සේ ඒවාට යොමු විය හැකියි.

පසුගිය ලිපියේදී අප නැවතුනේ බලන දුම්රිය ස්ථානයේ.

බලනේදී
බලන දුම්රිය ස්ථානයේදී ගිමන් නිවාගත් අපට එහි දුම්රිය ස්ථානාධිපතිතුමාගෙන් අපූරු තෑග්ගක් ලැබුණා. කට්ටිය දැකලා තියනවද මේ විදිය හම් වලින් හදපු ලොකු රවුමක් වගේ දෙයක් හැම දුම්රිය ස්ථානයක් හා සෑම දුම්රියක් අතරම හුවමාරු වෙනවා? 

ටැබ්ලට් හුවමාරුව
වේගයෙන් ඉදිරියට ඇදෙන දුම්රියට ලබාදීමට සහ ලබා ගැනීමේ පහසුව උදෙසා විශාල රවුමක් ලෙස සකසා ඇති මුත් මෙහි ඇති කුඩා සාක්කුව වැනි කොටසේ ඇතුල් කර ඇත්තේ කාසියක් වැනි කුඩා ලෝහමය පතුරක්. දුම්රියෙන් ලබා ගන්නා එම ටැබ්ලට් එක හෙවත් ලෝහ පතුරු කැබැල්ල කෙලින්ම නතර වෙන්නේ මෙන්න මෙතැන. ලංකාවට දුම්රිය හඳුන්වා දුන් කාලයේ සිට තාමත් නිවැරදිව ක්‍රියාත්මක වන මේ යන්ත්‍ර නිසා උඩරට මාර්ගයේ සිග්නල් නිසා වන අනතුරු ඉතාමත් අඩු බව දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් අපට දැන ගැනීමට ලැබුණා.

ටැබ්ලට් යන්ත්‍රය 
දුම්රිය ස්ථානාධිපතිතුමාගෙන් අපට ලැබුණු තෑග්ග තමා මෙම යන්ත්‍රය ක්‍රියා කරවන ආකාරය පිලිබඳ දැනුම. එක් දුම්රියකින් ලබාගන්න ටැබ්ලට් එක මෙම යන්ත්‍රයට ඇතුල් කළ පසු යන්ත්‍රය මගින් ඉබේම අනෙක් දුම්රියට එම ස්ථානයට පැමිණීම සදහා සිග්නල් ලබා දෙනවා.  දුම්රිය දෙකක් එක වෙලාවට එකම මාර්ගයේ ගමන් කිරීම ටැබ්ලට් නිසා වැළකෙනවා. සිග්නල් ක්‍රියාත්මක වුවත් ඒවා සොයා බැලීම සඳහා දුරකථනයක්ද යන්ත්‍රය සඳහා සම්බන්ධ කර තිබෙනවා. මෙම දුරකථන ජාලය වයර් හරහා සම්බන්ධ වන දුම්රිය දෙපාර්තමේන්තුවටම අයත් එකක්. දුම්රිය ස්ථානාධිපතිතුමා ගුරු මුෂ්ටියකින් තොරව කියා දුන් ඒ කරුණු අපේ කණ්ඩායම අසා සිටියේ මෙහෙමයි.

ටැබ්ලට් වැඩ කරන්නේ මෙහෙමයි 
බලන දුම්රිය ස්ථානයේ දී වැසිකිළි පහසුකම් අවශ්‍ය නම් ඒ පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිතුමාට දැනුම දී වැසිකිළියේ යතුර ඉල්ලාගන්න. දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තිබුනත් අප ගිය දිනයේදී වැසිකිළි යතුරු දමා වසා තිබූ බැවින් අප ඔහුගෙන් යතුරු ඉල්ලාගෙන වැසිකිළි භාවිතා කළා. බලන දුම්රිය ස්ථානයේ පැය භාගයක් පමණ ගත කර අපි නැවත ගමන ආරම්භ කළා.


බලන දුම්රිය ස්ථානයේ සිට විනාඩි 5 - 10 ඉදිරියට ගමන් කරන විට අපිට දැකගන්නට ලැබුණේ තවත් ඉතිහාසමය වටිනාකමක් ඇති ස්ථානයක්.

මේ මොකක්ද මේ?
බැලූ බැල්මට තවත් එක් අත් හැර දැමු දුම්රිය පෙට්ටියක් සහ පැල්පතක් දෙස පෙනුනත් මීට වසර ගණනාවකට එපිටින් මෙම පැල්පත ඉදිරියේ දුම්රිය නැවැත්වූ බව ඔබ පිළිගන්නවාද?

පැරණි බලන දුම්රිය ස්ථානය 
ඔව්, මේ පැරණි බලන දුම්රිය ස්ථානයයි. ඇස්බැස්ටෝස් සෙවිලිකර සුදු හුණු පිරියම් කර තිබූ මෙම දුම්රිය ස්ථානය අද අව්වෙන් වැස්සෙන් පීඩා විදිමින් පාළුවෙන් සිටියාට එදා මෙම මෙතැනින් කී දෙනෙක් දුම්රියට නගින්නට ඇත්ද? ගොඩනැගිල්ලේ දෙපස "BALANA" ලෙස ලියැවුණු අකුරු අමාරුවෙන් අපට කියැවීමට හැකි වුණා. අතීතයේ උරුමයන් ලෙස මෙවන් ගොඩනැගිලි ආරක්ෂා කළ යුතු වුනත් කිසිම ආරක්ෂක ක්‍රියාමාර්ගයක් මේ සම්බන්ධව නොගෙන ඇති බව පින්තූරය නැරඹීමෙන් ඔබටත් පැහැදිලි වෙන්නට ඇති. ඒ අසලම දිරා යෑමට ලක්ව ඇති දුම්රිය පෙට්ටියක් අපට දක්නට ලැබුණා.

පුංචි පැලේ ගෙවිලිය
මෙය සමහර විට පීලී පැනීම නිසා ඉවත දැමූ දුම්රිය මැදිරියක් විය හැකියි. ඒ කෙසේ වුවත් මෙවන් දුම්රිය මැදිරි දිරායාමට නොදී ඒවාගෙන් කිසියම් ප්‍රයෝජනයක් ගන්නේ නම් ඉතා වැදගත්. දුම්රිය මැදිරියට අමතරව ඉවත දමා තිබූ රේල් පීලී  විශාල ප්‍රමාණයක් ද අපට දැකගන්නට ලැබුණා. ඒවා උණු කර නැවත ප්‍රයෝජනයට ගත හැකි වුවත් එසේ නොකරන්නේ මන්ද යනු අපට ඇති වූ ගැටළුවක්. කණ්ඩායමේ සමහරු පැවසුවේ එම රේල් පීලී කොළඹට රැගෙන යාම සඳහා විශාල වියදමක් වැය වන බැවින් ඒවා එසේ රේල් පාර අයිනේ දමා ඇති බවයි. හේතුව කුමක් වුවත් රාජ්‍ය දේපල කිසි ප්‍රයෝජනයක් නොගෙන දිරා යන බවට ඇසින් දුටු සාක්ෂි ලෙස එම දසුන් අපගේ සිත් වල නොමැකී පවතීවි.

පැරණි බලන දුම්රිය ස්ථානයට පසුව අපට හමුවූ වැදගත් ස්ථානය අංක 8 දරණ බිම් ගෙයයි. මාතලේ බලා යන දුම්රිය එතැනට ලඟා වීමට පැයක පමණ කාලයක් තිබූ නිසා අප එම බිම් ගෙය පෙනෙන තෙක් මානයේ සිට දිවා ආහාරය ගත්තා.

දිවා ආහාරය 
පාන්, බිස්කට් සහ චිලී පේස්ට් සහිත දිවා ආහාරය නිමා කර මාතලේ දුම්රිය එනතුරු අප මග බලා සිටියා. ටික වෙලාවකින් මාතලේ දුම්රිය අප පසු කර ගියේ මෙහෙමයි.

අපි යනවා අපේ ගමන මාතලේ 
දුම්රිය අප පසු කළ වහාම කණ්ඩායම් සාමාජිකයන් බොහෝ දෙනෙක් රේල් පාර අවට යමක් සොයන්නට පටන් ගත්තා.

මොනවද මේ හොයන්නේ?
මෙන්න ඔවුන් සෙවූ දෑ.

තැළුණු කාසි 
දුම්රිය පීල්ල උඩ කාසි තබා ඒවා තලා ගැනීම නීති විරෝධියි. නමුත් අපි මේ කාසි ගමනේ සමරුවක් ලෙස සුරක්ෂිතව තබා ගත්තා. සියලු දෙනා තම තමන්ගේ කාසි සොයා ගැනීමෙන් පසුව අපි නැවත ගමන ආරම්භ කළා. බිම් ගෙය අසලටම පැමිණි අපට දැනුනා එම ස්ථානය කණ්ඩායමේ පින්තුරයක් ගැනීමට සුදුසු ස්ථානයක් බව. ඉන්දරේගේ ත්‍රිපාදයේ අධාරයෙන් කණ්ඩායමේ සියලු දෙනා පින්තුරයට පෙනී සිටියා.

මේ දක්වා බ්ලොග් ලිපි හරහා ගමනට සහභාගී වූ ඔබට අපේ කණ්ඩායම හඳුන්වා දෙන්නට මේ හොඳම වෙලාවයි.

පසු පස පේලියේ වම් අත පැත්තේ සිට:
රේල් පාර දිගේ ලිපි පෙළ සඳහා තමන්ගේ පින්තූර භාවිතා කිරීම සඳහා අවසර ලබා දුන් ඔබ සැමට ස්තුතියි. මීළඟ ලිපියෙන් ඉහළ කෝට්ටේ දක්වා ගමන සමගින් හමුවෙමු.

11 comments:

  1. Ashan Imantha M.H.BandaraOctober 2, 2011 at 11:01 PM

    අපිත් මේ ගමනම ගියා අක්කේ....හරිම විනෝදයි.....:D

    ReplyDelete
  2. අමතක නොවන ගමනක්! ලස්සනට ලියලා තියේ.. මතකයන් සැමදාම තියේවි..

    ReplyDelete
  3. අ - හිංසක සිංහයාOctober 3, 2011 at 12:10 AM

    වෙනදා වගේම පොස්ට් එක එළ .........:D

    ReplyDelete
  4. අ - හිංසක සිංහයාOctober 3, 2011 at 12:14 AM

    සිරාවට කනී මමත් ගිය සුන්දරම ගමනක් .........:D

    ReplyDelete
  5. තැන්කු තැන්කු 

    ReplyDelete
  6. මට ආරංචි වුණා. කොච්චර ලිව්වත් ඒ හැගීම් හරියට එළියට දාන්න අමාරුයි නේද මල්ලි?

    ReplyDelete
  7. :D නියමයි. හැබැයි මොකද හදිස්සියෙන් ලියලා වගේ..... 

    ReplyDelete
  8. ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
  9. හේතුව දන්නවනේ ;)

    ReplyDelete