Tuesday, August 11, 2009

අහෝ ATM වඩිනු මැනැවි අපේ ගමට

ගොඩ කාලෙකට පස්සේ බ්ලොග් සටහනක් ලියන්න නිමිත්තක් ලැබුනේ ඊයේ.ඒකත් බැංකු කතාවක්.

මේ දවස් වල් ගොඩක් අය සල්ලි ගන්න පාවිච්චි කරන්නේ ATM කාඩ්පත්නේ.මාත් එහෙමයි.ලංකා බැංකුවේ ගිණුමක් ආරම්භ කරලා දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ආවත් ජීවිතේට බැංකුවට ගිහින් මුදල් ආපසු අරගෙන නෑ.


කාඩ් වලින් සල්ලි ගැනීම පහසුයි, ඉක්මන්. ඒ වුනාට ඊයේ වුන රස්තියාදුව මතක් වෙනකොට බැංකුවෙන් සල්ලි ගැනීම ගැන කාට කාටත් දැනගන්න බ්ලොග් එකේ ලිව්වොත් හොඳයි කියල හිතුනා.

මගේ ගිණුම තියෙන්නේ ලංකා බැංකුවේ පේරාදෙණිය ශාඛාවේ.මම ඉන්නේ පිළිමතලාවේ වුනත් පේරාදෙණියේ ගිණුම ආරම්භ කලේ පිළිමතලාවට වඩා පේරාදෙණිය ශාඛාවේ වැඩ කටයුතු හොඳයි කියල දැණුනු නිසා. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ අපේ පීඨය ඇතුලෙම බැංකුවක් තිබුන නිසා, කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ බැංකුවත් එක්ක ගණුදෙනු කරන්න.

නමුත් ඊයේ හවස උවමනාවකට පොඩි මුදලක් ගන්න අවශ්‍ය වුනා.අපේ ගෙවල් වලට ලඟම තියන ලංකා බැංකු ශාඛාව තමා පිළිමතලාව.අවුරුදු ගානක් පරණ වුනාට ඒකේ තාම ATM මැශින් එකක් නෑ. ඒක නිසා බැංකු පොතයි,හැඳුනුම් පතයි, පෑනයි ඔක්කොම දේවල් හොයාගෙන පාරට බැස්සා. ඔලුව පීරලා, මූණ කට හෝදලා මනුස්සයෙක් වගේ යන්න එපැය ඉතින් බැංකුව ඇතුලට යන්න. තාත්තාගේ කොමර්ශල් බැංකුවේ කාඩ් එක මගේ අවාසනාවන්තකමටම ගෙදර තිබුනේ නෑ. ඒක තිබ්බ නම් ඉතින් ගෙදර හිටපු විදියටම සෙරෙප්පු දෙකක් දාගෙන පයින්ම ගිහින් සල්ලි අරං එන්න තිබුනා.

ඉතින් බැංකුවට ගිහින් පැය භාගයක් වගේ පෝලිමේ ඉඳල කවුන්ටරේ හිටපු අයියාට පොතයි, හැඳුනුම්පතයි, සල්ලි ගන්න පාවිච්ච් කරන පෝරමයයි දුන්නා. ඒපාර මෙන්න මෙයා කියනවා මිස් ඔයා පොතේ අත්සන් කරලා නෑ. ඒක නිසා සල්ලි ගන්න බෑ කියලා.මට හොඳටම තරහ ගියා. බැංකු පොතේ අත්සන් කරන කතාවක් මම දැනගෙන හිටියේ නෑ. අනික මෙච්චර කල් ATM එකෙන් සල්ලි ගත්ත නිසා ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ.ඒක අත්සන් කරගන්න පේරාදෙණියටම යන්න ඕනෙලු. මොනව කරන්නද සල්ලි ගන්නම ඕනේ නිසා ගියා පේරාදෙණියට. බැංකුව වහන්න ඔන්න මෙන්න තියෙද්දි පැනගත්තා ඇතුලට.

එතකොට තමා දැනගත්තේ අත්සන් කරන විදිය. බැංකු පොතේ ඉදිරි පිට කවරේ ඇතුල් පැත්තේ අයිතිකාරයාගේ අත්සන තියෙන්න ඕනේලු. ඒ අත්සනත් පේන්න නෙවේ ගහන්නේ.අමුතු කාබන් කොළයක් උඩ අත්සන් කරන්න දෙන්නේ. ඒක පියවි ඇහෙන් පේන්නේ නැති උනත් කවුන්ටරේ තියාගෙන ඉන්න විශේෂ ලාම්පු එලියෙන් නම් පේනවලු. එතන තියන විද්‍යාව නම් මම දන්නේ නෑ. ඒ වුනාට ඔන්න මීට පස්සේ කවුරුහරි ලංකා බංකුවේ ගිණුමක් ආරම්භ කරනවා නම් ඔය වැඩේ අනිවාර්යෙන්ම කරගන්න. නැත්තම් බැංකුවෙන් සල්ලි ගන්න වුන දවසට තමා රස්තියාදු වෙන්න සිද්දවෙන්නේ.

මට මෙතනදි හිතුන දෙයක් තමා බැංකු සේවකයන්ගේ නොසැලකිලිමත් බව. විශේෂයෙන් රාජ්‍ය බැංකු.මම ගිණුම ආරම්භ කරද්දි කවුරුවත් මට කිව්වේ නෑ ඔය ගැන.කිව්වා නම් ඊයේ මට සල්ලි ගන්න එක පිළිමතලාවෙන්ම ලේසියෙන් කරගන්න තිබුනා.

මීට කලින් සම්පත් බැංකුවේ පොඩි කාලේ අම්මලා ආරම්භ කරපු ගිණුමක් වැඩිහිටි ගිණුමකට මාරු කරගන්න ගිහින් මූණ දෙන්න උනේ ඒකට සම්පූර්ණයෙන්ම වෙනස් අත් දැකීමක්.පැයක් විතර රස්තියාදු වෙන්න උනා එතනත්. හැබැයි ගිය වැඩේ එක පාරින්ම කරගෙන එන්න පුලුවන් උනා. ගිණුම මාරු කරලා, කාඩ් හදාගෙන ඔක්කොම වැඩ එක දවසින්.ඒ වගේම හිටපු කාර්ය මණ්ඩලයත් බොහොම හොඳයි. සම්පත් බැංකුවේ තියන මම ආසම දේ තමා දුරකතනය හරහා හෝ අන්තර්ජාලය හරහා බැංකු කටයුතු කරගැනීමට පහසුකම් සලසා දීම.

ඉතින් ඕක මතක් වෙලා මම ඊයේ ලංකා බැංකුවෙන් ඇහුවා online transactions කරන්න පුලුවන් විදියක් තියනවද කියලා. එතන හිටපු සේවකයා ගත් කටටම බැහ් ගෑවේ එහෙම එකක් ගැන අහලාවත් නෑ වගේ. නමුත් පහුගිය ලිපිය ලියන්න කලින් ලංකා බැංකුවේ වෙබ් අඩවිය පුරා කරක් ගහන්න වුන නිසා මට හොඳට මතකයි එහෙම සේවාවක් තියනවා කියලා.

මම ඉතින් කිව්වා "එහෙනම් අර වෙබ් සයිට් එකේ දාල තියෙන්නේ ඒ අන්තර්ජාලය හරහා ගණුදෙනු කරන්න පුලුවන්, සේවාව ලබා ගන්න නම් අයදුම්පතක් බැංකුවේ කළමනාකාරීත්වයට භාර දෙන්න කියලා"

ඔන්න ඒපාර අර බැහ් කිව්ව කටින්ම මෙයා කියනවා එහෙම සර්විස් එකක් නම් තියනවා මිස්. හැබැයි අපි ඒක සම්පත් බැංකුව එක්ක එකතු වෙලා කරන නිසා ගොඩක් කොමිස් ගෙවන්න වෙනවා කියලා. මට අහන්න හිතුනා එහෙනම් මේ ගිණුම අයින් කරගෙන ඒකේ සල්ලි ටික සම්පත් බැංකුවටම දාන්නද කියලා.

කෝක වුනත් කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න ඕනේ නිසා මොකුත් කියන්නේ නැතිව බැංකුවෙන් එළියට ආවේ අපේ රාජ්‍ය බැංකු වල customer care service එකත් අර ඒ සම්බන්ධයෙන් බොහොම ප්‍රසිද්ධ ජංගම දුරකතන සේවා සපයන සමාගම් වලට වඩා වැඩි වෙනසක් නෑ කියලා හිතාගෙන.

මේ කතාව ලිව්වේ අලුතින් ගිණුමක් ආරම්භ කරන කාට හරි වැදගත් වෙයි කියලා හිතලා. අලුත් තාක්ෂණය භාවිතා කරන එක හොඳයි තමා, ඒත් හැමවෙලාවෙම සූදානම් වෙලා ඉන්න තාක්ෂණය නැති වෙලාවට පරණ විදියටම වැඩ කරන්න.

රූපය ගත්තේ මෙතනින්

18 comments:

  1. ලංකා බැංකුවයි මහජන බැංකුවයි ගැන නම් මතක් කරන්න එපා... :/

    ReplyDelete
  2. අපිටත් ATM එක නැතිවුණා නම් වැලේ වැල් නැති වෙනවා. ඕක හොයාගත්තු කෙනාට මල් තියල වඳින්න ඕන.

    කොහොම වුණත් රජයේ බැංකුවලින් හොඳම සේවාව දෙන්නෙ ලංකා බැංකුව කියලයි මට නම් හිතෙන්නෙ. මහජන බැංකුව ගැන නම් කතා කරල වැඩක් නෑ.‍

    සම්පත් බැංකුව වගේද රාජ්‍ය බැංකුවක ආරක්‍ෂාව? ;-)

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්ම්... අපි ඉතිං වෙක් ගණූදෙණු නැති නිසා,NSB හොදයිනේ..
    මොකද ගොඩාක් ATM service තියෙන නිසා.. පොලියත් වැඩී...

    කවදා හරි ලෝන් එකක් ගන්න කොට, ප්‍රයෝජනවත් නිසා හැම බැංකුවකම accounts open කරලා තිබ්බත් කමක් නෑ.. Transaction නැති උනත් කමක් නෑ.... බලන්නේ account එක open කරපු දවසයි....

    ReplyDelete
  4. මගේ එකවුන්ට් එකත් නුවර ලංකා බැංකුවෙ. ඒත් ඒක නම් ඕපන් කරනකොට ඒ අය කියල අත්සන් කෙරෙව්ව. ඒත් ATM එකම තමයි පාවිච්චි කරන්නෙ. අන්තර්ජාල වැඩේට අයදුම්පතක් දුන්න ඒත් තාම ආරංචියක්වත් නෑ. සම්පත් එකෙත් එකවුන්ට් එකක් ඕපන් කරනකොට ඉන්ටනෙට් බෑන්කින් වලට ඉල්ලුව. ඒත් ඒකෙනුත් කිසිම සද්දයක් නෑ :D

    ReplyDelete
  5. සේරම සල්ලි ටික කොමර්ෂල් එකට දාන්න කරදර ලොස්. ATM රට පුරා.. ඒත් ATM එකට රිංගපු සමහර වුන් එළියට එන්න පරක්කු වුනාම පුෂ්පය පනිනවා :D

    ReplyDelete
  6. මම දැන් බැන්කු කාරයෙක් නොවුනට ඉතින් අවුරුද්දක් හිටිය මහජන බැන්කුවේ කැම්පස් සෙට් එක ගත්තනේ A/L වලින් පස්සේ. ඔය ඉස්ටිකර් එක මත ලියපුව නිල්පාට ලියිට් එකට පෙනව ඔය සල්ලි කොලයක් එකට අල්ලපුවම මහ ගොඩක් සංන්කේත මතුවෙනව. කොලබ නුවර ඉන්නවනම් හොදම HSBC , NTB මාර සර්විස් එක ඔන්ලයින් වැඩ වලට ඩොන්ගලයකුත් දෙනව 6 වෙනකම් ඇරල. කොමර්ශල් ,සම්පත් හොදයි ෆ්ඩ් සිටි වල තියන නිසා.

    ReplyDelete
  7. අනේ ඔය බැංකු ගැන කතා කරනකොට මටත් එපා වෙන වැඩක් තියනවා.ඒක HNB එක ගැන.සම්පත්,කොමර්ෂල් බැංකුවල ගිණුමක් Open කරන්න හරිම ලේසියිනෙ. එත් HNB එකේ ඒක කරන්න තමන් පදිංචි ප්‍රදේශයට යන්න ඕන.අලුතින් එගොල්ලො ගිණුම් අංක වෙනස් කරලා.දැන් පොත අප්ඩේට් කරගන්න නම් ගිණුම තියන ශාඛාවටම ගිහින් අලුත් පොතක් ගන්න ඕනා.දැන් කොළඹ ඉන්නෙ.පලයන්කො ඒ වැඩේටම කුරුණෑගල.

    ReplyDelete
  8. මගේ බැංකුකරු මහජන බැංකුව. මම ඒක හොඳයි කියලා හිතන්නෙ හේතු දෙකක් පිට.
    1. රාජ්‍ය බැංකුවක් බංකොලොත් වීම සිදු නොවන්නක් නිසා මුදල් වලට තියෙන ආරක්ෂාව
    2. පෞද්ගලික බැංකු ATM පත භාවිතා කරන විට සේවා ගාස්තුවක් කපාගැනීම

    ReplyDelete
  9. මම කොමර්ෂල් බැංකුවේ වැඩ කරන කෙනෙක් හැටියට දන්නවා ATM වලින් ගනුදෙනු කරුවන්ට තියන පහසුව.

    මහ බැංකුවේ ලියාපදිංචි බැංකුවක සල්ලි දානවනම් මුදල් වල ආරක්ෂාව ගැන ප්‍රශ්ණයක් එන්නෙ නැහැ.

    ATM භාවිතා කරන විට යම් මුදලක් කැපුනත් ඒකෙන් ලැබෙන පහසුව ඊට වඩා ගොඩක් වැඩියි.

    විදේශ රටවලදි පවා ATM කාඩ්පත මගින් ගණුදෙනු කරන්න පුලුවන්.

    ReplyDelete
  10. @ Dimu
    මමත් හාහාපුරා කියල මුලින්ම ගත්තෙත් CAT කාඩ් පතක්.
    ඒත් රු 100ක් ගන්නකොට රු 5ක්, ඒ කියන්නෙ 1/20 ක සේවා ගාස්තුවක් ගත්තාම ඒක පාරිභෝගිකයන් විදියට අපිට පාඩුයි නේද?

    ගාල්ලෙ වැසියෙක් විදියට මට කොමාෂල් බැංකුවට වඩා ගොඩක්ම පහසු මහජන බැංකුව. කොමාෂල් ATM යන්ත්‍රය තියෙන්නෙ ගොඩක් දුර. නමුත් නගර මධ්‍යයේ මහජන බැංකු ATM යන්ත්‍ර 2ක් තියෙනවා.

    ReplyDelete
  11. බැංකුනම් ඉතින් HSඹ්C තමා හොඳම. ඒකෙ සේවකයන්ට දැනුම් දීල තියන විදියට කස්ටමර් කෙනෙක්ගෙ වැඩේ විනාඩි 15ක් ඇතුලත කරලා දෙන්න ඔනේ. නැත්තම් කස්ටර්මර්ට ඉහලට පැමිනිලි කරන්න පුලුවන්.

    ReplyDelete
  12. ජාතීයේ මහා පහන් ටැඹ කිව්වට...දැන් ටැඹේ හිටවපු තැන ගසුත් පැලවෙල....මොකද සම්පත්,NSB, Commercial, වගේ එකකට මාරු උනොත්...හරිම simple plan එකක්නේ...

    ReplyDelete
  13. ඔය බැංකු ජාතියෙ ඉන්න අයියලා ගෙන් අහන්න අර ගල්ද මුල්ද කියන බොතල් ජාතිය ගැන ඒ ගැන නම් දන්නවා කියයි

    ReplyDelete
  14. අපි නම් ඉතිං ලංකා බැංකුවෙ ගිණුමක් අනිවාර්යෙන්ම තියාගන්න එපැයි, මහපොළ එන්නෙ ඒකටනෙ. ඇත්තටම ඔය ATM එක හන්දා මාසෙකට සැරයක් මහපොළ ගන්න එක නම් හුඟක් පහසුයි හැමෝන්ටම.

    මගේ ඉතිරි කිරීමේ ගිණුම නම් NDB එකේ. ආරක්‍ෂාව ගැන නම් හරියටම දන්නෑ, මහ බැංකුවෙ ලියාපදිංචි නිසා හොඳයි කියලා හිතනවා, හැබැයි customer care service එක නම් සාපේක්‍ෂව ගොඩක් හොඳයි. NDB ඉතිරි කිරීමේ ගිණුම් වලටවත් බැංකු පොත් නෑ. සල්ලි දානවනම් slip එකක් ලියලා දෙන එක විතරයි, ගන්නවනම් ATM එකෙන්. මාසෙ අන්තිමේට Bank statement එකක් එනවා ගෙදට්ට ඒ මාසෙ ගණුදෙනු වල විස්තර ඇතුලත්. Online transactions වලටත් ගොඩක් හොඳයි.

    ReplyDelete
  15. aththa katawa...honda blog ekak..thawa liyanna...
    mage blog eka paththe enna..

    http://ekewattuwa.blogspot.com/

    thanks.

    ReplyDelete
  16. මම නම් උපන් දා ඉඳන් කොමර්ශල් තමයි. අපේ ගෙදර වෙනත් බැංකුවක කැලැන්ඩරයක් හෝ එල්ලීම සපුරා තහනම්. හිකිස්! කොම් බෑන්ක් එකේ නම් අන්තර්ජාලය හරහා ගොඩක් වැඩ කරතෑකි. මං ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවන්නෙත් එහෙමයි...අනික් බැංකු ගැන නම් මට ඒ තරම් අත්දැකීම් නෑ - හැබැයි ඉස්සර සීයගෙ විශ්‍රාම වැටුප් ගන්න NSB එකේ පෝලිමේ ඉඳං පරිප්පු කාල නම් තියෙනව.

    ReplyDelete
  17. ඔය අත්සන ගහන වැඩේ බැංකු පොත දෙන වෙලාවෙම කරගන්නවනේ. මේ මේ රාජ්‍ය බැංකු වලට බනින්න එපා හරිද අපි සල්ලි දාන්නෙ NSB එකේ මම ගිහිපු මොනව වෙලාවකවත් රස්තියාදු වෙලා නෑ. ATM කාඩ් එක ගන්න ගිහිපු වෙලාවෙත් විනාඩි 5න් වැඩේ කරලා දුන්නා. ඕන තැනක ATM මැෂින් තියනවා. එළ කිරි වගේ...

    ReplyDelete
  18. @ගයන්ත
    ලංකා බැංකුව තව හොඳයි..අනික ගැන නම් මතක් කරන්න එපා එපාමයි.

    @තමීර
    සහතික ඇත්ත. කට්ටියම එකතු වෙලා උපහාර උළෙලක් තියමුද? හැබැයි අව්ල කියන්න හදපු කෙනා හරියට හොයාගන්න බෑනේ. මෙතන බලන්නකෝ

    @'පිස්සා'-
    >"කවදා හරි ලෝන් එකක් ගන්න කොට, ප්‍රයෝජනවත් නිසා හැම බැංකුවකම accounts
    open කරලා තිබ්බත් කමක් නෑ.. Transaction නැති උනත් කමක් නෑ.... බලන්නේ
    account එක open කරපු දවසයි...."
    *අන්න කතාව. බොහොම වටිනා උපදෙසක්

    @Malinthe
    එහෙනම් නුවර බැංකුව හොදයි වගේ..ඒත් මට නම් ඕකට යන්න කම්මැලියි..ගෙදර ලඟ තියන එකෙන්ම වැඩ කරගන්නවා ඉතින්

    @Thilina
    :P

    @Muthunayake
    ෆුඩ් සිටි කතාව නම් සහතික ඇත්ත. රෑටත් ඒවගෙන් ගණුදෙනු කරන්න පුලුවන් නිසා තමා අපේ තාත්තා තාම බිස්නස් එක කරගෙන යන්නේ

    @චමි.දේ.වා.
    අයියෝ, ඒක නම් එපා වෙන වැඩක්නේ..මම හිතුවා HNB කියන්නෙ state of the art බැංකුවක් කියලා

    @ප්‍රවීන් ඉන්ද්‍රනාම
    ඒ ඔබගේ අත්දැකීම් මත වෙන්න පුලුවන්. නමුත් මට නම් මහජන බැංකුව ගැන එතරම් පැහැදීමක් නෑ. අපේ තාත්තා මුලින්ම ගණුදෙනු කරන්න ගත්තේ මහජන බැංකුව එක්ක. ඒක පස්සට යන්න යන්න කොහු කොහු උනාම තාත්තා කොමර්ශල් බැංකුවට මාරු උනා.මහජන බැංකුවේ ජංගම ගිනුමට ඒ.ටී.එම් එකක් නොදීම එක හේතුවක්. ඒක නිසා ගණු දෙණු කරන එක මහ වදයක් උනා. බැංකුව වහන්න කලින් වැඩ ඔක්කොම ඉවර කර ගන්න ඕනේ. සති අන්තයට, නිවාඩු දවස් වලට වැඩ බෑ. අනික් හේතුව තමා හදිස්සියට OD එකක් ගන්න බැරි වීම. බිස්නස් වැඩ කරන කොට ඒවගේ දේවල් නැතුවම බැරි පහසුකම්නේ. දැන් කොමර්ශල් එකේ නම් කිසි අව්ලක් නැතිව ලොකු ගනන් වල චෙක් වුනත් රිටර්න් කරන්නේ නැතිව ගෙවනවා.

    පොඩි ප්‍රශ්නයක්. රාජ්‍ය බැංකු කිව්වට ලංකා බැංකුවේ නම් ATM ගනුදෙනුවකට රුපියල් පහක්ද කොහෙද කැපෙනවා.අනික රුපියල් සීයක් ගත්තත් පන්දාහක් ගත්තත් එකම සේවා ගාස්තුව නේද?ඒන නිසා මම නම් ඒක වැඩිය ගානක් නෑ මොකද මම ගොඩක් වෙලාවට සල්ලි ගත්තොත් දාහට වැඩියෙන් තමා ගන්නේ. ඒත් ඔයාලා බෝඩිම් වල නැවතිලා ඉන්න නිසා මගේ අවශ්‍යතාවන්ට වඩා ඔයාගේ අවශ්‍යතාවන් වෙනස් වෙන්න පුලුවන්. ඔබට හොඳම දේ තෝරාගැනීම ඔබගේ කැමැත්තයි

    @Dimu
    >"ATM භාවිතා කරන විට යම් මුදලක් කැපුනත් ඒකෙන් ලැබෙන පහසුව ඊට වඩා ගොඩක් වැඩියි."

    ඔව් මාත් ඒක අත්දැකීමෙන් දන්නවා. කැපෙන රුපියල් පහට වඩා ලැබෙන සේවය වැදගත්

    @Chrishi
    ඔය වගේ නීති ඉස්පිරිතාල වලට එහෙම දාන්න බැරිවෙයිද දන්නේ නැ??

    @panhida
    :P

    @wayaba withthi
    හප්පා එහෙමද?? මම හිතාගෙන හිටියේ එයාල හරිම කඩවසම් ගුණගරුක, සුවච කීකරු පිරිමි ළමයි කියලා. ආයේ නම් බැංකුවට ගියාම එකෙක්ට හිනා වෙන්නේ නෑ

    @ධනික | Dhanika
    ආහ්හ් එකේ පොත් නැද්ද? ඒකත් එක අතකට හොඳා. හැබැයි ඉතින් එතකොට ලියුම් ටික එක්කහු කරල තියාගන්න වෙන එක නම් පොඩි කරදර වැඩක් නේද?

    @ඉන්දික
    thanks

    @niroshinie
    බැංකු ලෝයල්ටි ගැන අදසක් ගැනීමට අවශ්‍ය පුද්ගලයෝ නිරෝශිනි අක්කාගේ ගෙදරට වහාම යත්වා. තේ එක කොමර්ශල් අනුග්‍රහයෙනි.

    @Rashendra
    මෙහෙමනේ යාළුවා, එක එක්කෙනා තමන්ගේ අත් දැකීම්නේ කියන්නේ..සමහරුන්ට රජයේ බැංකු හොඳ නෑ. තව කට්ටියකට පවුද්ගලික ඒවා හොඳ නෑ..අනික මට නම් හිතෙන්නේ කොයි බැංකුවෙත් හොඳ නරක රදා පවතිනේ ඒ ශාඛාවේ සේවය කරන අය අනුව කියලා

    ReplyDelete