Wednesday, December 9, 2009

මලී අක්කාගේ ලිපියක් දැක්ක පාර ලියන්නම හිතුනා..ඉතින් ලිව්වා


පෙර ලිවීම: මීට වසර ගණනාවකට කලින් ලියා draft ගොඩේ සැඟවී තිබු ලිපියකි. පරණ ගතියට සමාවන සේක්වා.

මෙන්න මේක තමා මලී අක්කාගේ ඔය කියන ලියමන.තාම කියෙව්වේ නැත්තම් කියවලාම බලන්නකෝ


සම්පූර්ණ ඇත්ත ..ගෑණු ළමයෙක් විදියට මාත් මලී අක්කා කියන කතාවට 200% ක් එකඟයි.මාත් එයා වගේම ඒ නිදහස උපරිමව විඳපු කෙනෙක්. අන්තර්ජාලය හරහා හම්බුවෙච්ච ගොඩක් බ්ලොග් මිතුරෝ අද මගේ ලගම යාළුවෝ. සමහර අය ඇත්ත ජීවිතේ යාළුවොන්ටත් වඩා ගොඩක් සමීපයි.මගේ ආදර කතාවට මුලත් අන්තර්ජාලය. අපේ සමාජය අන්තර්ජාලය දිහා, ඒ හරහා ගොඩ නැගෙන මිතුරු සබන්දතා ගැන වැරදිවට හිතාගෙන හිටියත් ඒක හරිම සුන්දර අත් දැකීමක්.

අන්තර්ජාලය හරහා හමු උන අය ඇත්තටම මුන ගැහෙන එක ඊටත් වඩා සුන්දර අත්දැකීමක්. සුදාරකලගේ සාහිත්‍ය උළෙලට ගියාම හැමදාම චැට් එකේ, බ්ලොග් වල, මූණු පොතේ පිස්සු නටපු යාළුවො ඇත්තටම හම්බවෙල කතා කරන්න ලැබුනා.වචනයකින් කියල නිම කරන්න බැරි අත්දැකීමක් ඒක. මලී අක්කා කියනවා වගේ ඒ හැමෝම ඇත්ත ජීවිතයේ හමුවෙන පිරිමින්ට වඩා ගොඩක් වෙනස් අය. මටත් පොඩි කතාවක් කියන්න තියනවා.එදා සාහිත්‍ය උලෙලට මම ගියේ තනියම. ඉවර වෙනකොට රෑ වුනා. කවුරුවත් කොටුවට එන කෙනෙකුත් හොයාගන්න බැරි වුනා.කොළඹ වැඩිය පුරුදු නැති නිසා, තනියම කොටුවට එන්න බයේ ගැහි ගැහී ඉන්න කොට
කාලිංග අයියයි, තිලිණ අයියයි වැඩ දාහක් මැද්දේ මම නිසාම කාරෙකකුත් අරගෙන කොටුවට ආවා.මලින්තත් මාත් එක්කම ඇවිත් මාව බස් එකටම දාල එයාගේ නැන්දගේ ගෙදර යනවා කියලා ගියා.

අන්තර්ජාලය හරහා විතරක් හමුවෙලා හිටපු එයාල එදා ඒ කරපු උදව්ව ජීවිතේට අමතක වෙන්නේ නැති එකක්.ඒ උදව්ව එදා නොලැ බුනා නම් මේ වෙනකොට දීප්ස් මෙතන නොහිටින්න පුලුවන්.බිම් කලුවර වැටුනට පස්සේ කොල්ලො තුන් දෙනෙක් එක්ක කාර් එකක තනියම යන්න චකිතයක් ඇති නොවුනේ ඔවුන් ඇත්ත ජීවිතයේ සහෝදරයන් පිරිසක් වගේ දැනුන නිසා.එදා හමු වුන සියලුම බ්ලොග් කරුවන් මාව දැක්කේ, කතා කලේ පළවෙනි වතාවට උනත් මට සැළකුවේ අවුරුදු ගානක් තිස්සෙ අදුනන යාළුවෝ වගේ. එහෙම නොවුනා නම් පැය ගාණක් එතන ඉන්න එක මුළු ජීවිතේම තිත්ත කරන අත් දැකීමක් වෙන්න තිබුණා.

ඒ ඔය නරකයි කියන ජංජාලය හරහා හමුවුන එක්තරා පිරිමි කුලකයක හැසිරීම.

මෙන්න එදා හමුවුන අයගේ ඡායාරූපයක්.(පොතේ ගුරායි, ගෝලයයි අඩුයි). සුපුරුදු පරිදි හොරකම් කලේ මලින්තගෙන්:P



ඊ ළගට එදා රෑ බස් එකේදී හමු වුන පිරිමි කුලකය.

මට යක්කලට යන්න ඕනේ නිසා කොළඹ නුවර බස් එකකට නැග්ගා. පෞද්ගලික බස් රථයක්. සෙනග පිරිලා, එත් ටික දුරක් නිසා ඒ ගැන එච්චර හිතුවේ නෑ.ලැබුණු සම්මානය දාගෙන ආපු බෑග් එකයි,මයික්‍රොසොෆ්ට් මාමල දුන්න බෑග් එකයි ඉදගෙන හිටපු තලතුනා වයසේ මහත්තයෙක්ට දුන්නේ බොහොම පරිස්සමින්. අපරාදේ කියන්න බෑ මනුස්සයා ඒක මොනවත් කියන්නේ නැතිව ගත්තා.ටික දුරක් යනකොට මෙන්න එයාගේ යාලුවෙක් බර මල්ලකුත් අරගෙන නැග්ගා. අර ගෙනාපු බර මල්ල සුදාගේ සම්මානේ උඩින් කිසි ගානක් නැතුව මේ මනුස්සයා තියා ගත්තා. ඒ මදිවට ඒක මම දාගෙන හිටපු මල්ලෙනුත් එලියට ඇවිත් ඉස්සරහ සීට් එකේ වදිනවා.සීට් එකේ සම්මානේ වදින වදින ගානට මගේ ඇගෙන් කෑලි කෑලි ගැලවෙනවා (වගේ දැනෙනවා) මේ මනුස්සයාට ගානක් වත් නෑ. යාළුවා එක්ක කතාව. සෙනග පිරිලා නිසා මනුස්සයා ළගට ගිහින් ඒක ඉල්ලගන්න විදියකුත් නෑ.ඔය අස්සේ ඔන්න තව පොරක් ජැක් ගහන්න පොඩ්ඩ පොඩ්ඩ ලං වෙනවා. එතකොට තමා බස් එක පුරාම බැලුවේ ගෑණු පුලුටක්වත් ඉන්නවද කියලා. පෙනුන විදියට නම් කවුරුවත් නෑ. එකම එක ගෑණු ළමයෙක් එයාගේ ආදරවන්තයා එක්ක පිටිපස්සේ සීට් එකේ, බස් එකටම මම හැරුනු කොට ගෑණු ළමයෙක්ට හිටියේ එයා විතරයි.

බස් එකේ හිරවෙලා හිටපු නිසා එහාට මෙහාට වෙන්නත් බැරුව ඉන්නකොට තව මෝඩයෙක් ඇගට හේත්තු වෙන්න එනකොට ඇති වුනේ පුදුම තරහක්. ඔය වගේ අවස්ථා වල යොදන පලවෙනි ක්‍රියාමාර්ගය ගත්තා. ඇගේ හැප්පෙන්න හැප්පෙන ගානට රැව්වා, අහුවෙන අහුවෙන පාරට කකුල පෑගුවා, ඇගට හේත්තු වෙන්න බැරි විදියට අත තියාගත්තා. දෙවන ක්‍රියාමාර්ගයට යන්න කලින් හොද වෙලාවට එයා මගේ ළගින් ඈතට ගියා.සමහරු කියනවා බස් වල යනකොට ගෑණු ළමයින්ට කරදර වෙන්නේ එයාලගෙම වරදින් කියලා.ඒකෙත් ඇත්තක් තියෙන්න පුලුවන්, එත් එදා බස් එකේ උන දේවල් වලට නම් මට තාම හේතුවක් හිතාගන්න බෑ පිරිමින්ගේ ජරා ගති කියන එකට අමතරව

මේ වෙනකොට හොඳටම රෑ වෙලා. පාරේ බෝඩ් එකක්වත් බලන්න විදියක් නෑ බස් එක වේගෙන් යන නිසා. ළග හිටපු අපේ තාත්තාගේ වයස විතර පෙනුමක් තිබුනු තවත් එක් පිරිමියෙක්ගෙන් ඇහුවා මේ කොහෙද කියලා.

මේ මනුස්සය ඒ පාර බයිලා කියනවා. මෙච්චර රෑ වුනේ ඇයි? හොඳ වැඩේ රෑ වෙලා ගමන් යනවට. කොහෙද ගෙවල්???? පිරිමි කියන්නාවූ සංහතිය ගැනම කළ කිරුණා ඒ වෙලාවේ. හොඳ වෙලාවට
ගූගල් මැප්ස් කියල එකක් ජංගමේ තිබුනේ. විනාදි 10න් දහයට වගේ එකෙන් තැන බල බල ඇවිත් යක්කලට ළං වෙනකොට බස් එකේ දොර ළගට ලං වෙන්න පුලුවන් උනා.



තවත් සමහරු කියාවි හොද වැඩේ තනියම ගමන් යනවට කියලා. නමුත් මම හොදින්ම දන්නවා, අපේ ගෙදරින් කාටවත් මාත් එක්ක කොළඹ එන්න බෑ කියලා. ඒ දැන දැන කාටවත් කරදර කරන්න මට ඕනේ වුනේ නෑ. බස් එකේදි වුන ඔය කරදර ගැන ගෙදර ඇවිත් කිව්වෙත් නෑ. කිව්වානම් වෙන්නේ මීට පස්සේ මගේ පස්සෙන් කවුරු හරි එවන එක. අන්තිමේදි වෙන්නේ "මේ ගෑණු ළමයි මල වදයක්" කියන අදහස තවත් තීව්‍ර වීම.වෙලාවකට හිතෙනවා ගෑණු ළමයි මල වදයක් වෙන්නේ සමාජයේ වරදින්ම නේද කියලා. අපි හැමෝම විවෘත මනසකින් හිතනවා නම්, අනුනට කරදරයක් නොවී ඉන්න උත්සහ කරනවා නම් ලෝකෙම ලස්සන වේවි.මම රාජකීය විද්‍යාලයට ආවේ සරසවියේ යාලුවෙක් එක්ක. පිරිමි ළමයෙක්. අපි දෙන්නා පේරාදෙණියෙන් බස් එකකට නගින්න ඉන්නකොට එතන ඇවිල්ලා නවත්තපු බස් එකක කොන්දොස්තර කෙනෙක් කෑ ගහනවා ඩබල් සීට්, ඩබල් සීට් නගින්න නගින්න කියලා.එයා හිතන්න ඇති අපි දෙන්නා කොහේ හරි හොර ගමනක් යන පෙම්වතුන් කියලා.

මලී අක්කාව ආයෙත් මතක් වෙන්නේ මෙතනදී,ගැහැණු ළමයෙක්ට යාලුවෙක් වශයෙන් පිරිමි ළමයෙක් ආශ්‍රය කරන්න බැරි සමාජයක අන්තර්ජාලය කියන්නේ හරියට සහ පරිස්සමින් පාවිච්චි කරනවා නම් ඉතාමත් හොඳ උපකරණයක්

නැවතත් කතාවට,කොහොම කොහොම හරි ආච්චිලාගේ ගෙදරට ආවා. ටික වෙලාවක් යනකොට දෙතුන් දෙනෙක්ම කතා කරලා, එස් එම් එස් එවලා පරිස්සමින් ගෙදර ගියාද කියල අහනවා.

ඔය පිරිමි කුලක දෙකම මාව දැක්කේ, කතා කලේ පළවෙනි වතාවට. නමුත් දෙගොල්ලන්ගේ හැසිරීම අහසට පොළව වගේ.එදා රෑ නිදාගන්න ආවමත් මගේ ඔලුවේ තිබුනේ ඕකමයි. එදා මහ රෑ මූණූ පොතේ "
අනේ හැමදාම අසෙනිය කුසුම් තියනවා නම්" කියල අප්ඩේට් එකක් වැටීමත් ඔය හිත හිත හිටපු එකේ ප්‍රතිපලයක්.

ඒ කොළඹ ගමනෙන් ලබාගත්ත අත්දැකීම් බොහොමයි. සමාජයේ ජීවත් වෙන එක එක ජාතියේ මිනිස්සු ගැන ඉගෙන ගත්ත පාඩම් කවදාවත් අමතක නොවන මට්ටමේ ඒවා. බොහොමයක් අත් දැකීම් ලබාගන්න පුලුවන් උනේ තාත්තා තනියම යන්න අවසර දීපු නිසා. ඒවා, ජීවිතයට එකතු කරගන්න පාඩම් මිසක් අමිහිරි අත්දැකීම් බවට පත් නොවුනේ මගේ සමීපතම පුද්ගලයන් ඒ ගැන විවෘතව හිතපු නිසා.තාත්තා කිව්වා නම් පිරිමි ළමයෙක් එක්ක කොළඹ යන්න එපා කියලා, එහෙමත් නැත්තම් "you know who":P බැන්නා නම් රෑ තිස්සෙ ගමන් යනවා කියලා, මේ ලිපිය මීට වඩා වෙනස් ආකාරයකින් ලියවෙන්න තිබුනා.

අන්තර්ජාලය කියන්නෙත් ඔය අකාරයේ එක එක ජාතියේ මිනිස්සු එක්ක ගැටිලා අත් දැකීම් ලබාගන්න පුලුවන් තැනක්.මලී අක්කා කියන්නා වගේ සමාජයේ දාහක් ඇස් වලින් ගැලවිලා නිදහස උපරිමව විදින්න පුලුවන් තෝතැන්නක්.ඇත්ත, එත් සමාජයේ වගේම, ජංජාලයෙත් ගැහැණු ළමයෙකුට අවදානම් තැන් බොහොමයි.

ඔය හැම දෙයක්ම අස්සේ "සමාජය බිහිකරලා තියන පුහු ආකල්ප වලින් උපරිම නිදහසක් ලබන්නත් ගෑණුළමයින්ට පුළුවන්.. අපි දරණ මත කෙලින්ම ප්‍රකාශ කරන්න.. අපිට අපි විදියට පෙනී හිටින්න..ඒක හරි ලස්සන හැඟීමක්.." (උපුටාගැනීම මලී අක්කාගෙන්)

ඇත්ත සමාජයේ ගැහැණු ළමයි වටා ඉන්න පිරිස (දෙමාපියන්, වැඩිහිටි සහොදරයන්, පෙම්වතුන්) විවෘතව සිතන පිරිසක් නොවුනොත් අපි දරන මත කෙලින්ම ප්‍රකාශ කරන්න,අපිට අපිම වගෙ වෙන්න කවදාවත් බැරි වේවි.

නමුත් අපි වටා සිටින පිරිස මොනවා හිතුවත්, මොනවා කිව්වත්,අන්තර්ජාලය කියන්නේ පහසුවෙන්ම අපිට අපි වෙන්න පුලුවන් තැනක්. හොදම උදාහරණය මලී අක්කා. කොච්චර බ්ලොග් ලිව්වත් , බ්ලොග් වලදී කතා බහ කලත් ඇත්තම මලී අක්ක කවුද කියන්න මම දන්නේ නෑ. ඒක යාලුවෙක් විදියට එයත් එක්ක කතා කරන්න හිනාවෙන්න මට බාධාවකුත් නෙවෙයි.මලී අක්කා ලියන්නේ එයාගේ දෙමව්පියෝ ටැබූ කියල හිතන දේවල් ගැන වෙන්නත් පුලුවන්. එත් ඒක කාටවත් ගැටලුවකුත් නෙවේ. නමුත් මලී මලී විදියට අන්තර්ජාලේ ජීවත් වෙනවා, එයාට ඕනේ විදියට.

හිත ඇතුලේ හැංගිලා තියන දේවල් අපේම අනන්‍යතාවයකින් එළියට දාන්න, ඒවට ලැබෙන ප්‍රතිචාර බලාගෙන ඉන්න එක හරිම සුන්දර අත්දැකීමක්.විවිධාකාර වූ හේතූන් නිසා ඇත්ත ජීවිතයෙදී හංගගෙන ඉන්න අදහස් ජාලය හරහා ලෝකයටම කියන එක එක අතකට සමාජයටත් අලුත් දෙයක්.ඒ හරහා ගොඩ නැඩෙන මිතු දම් සැබෑ ලොවේ මිතුරුකම් වලට වඩා සමහර වෙලාවට හෘදයාංගමයි.

මම බ්ලොග් ලියන්න ආපු හේතුව ඇබිත්තං තරහක් (තව විස්තර දැනගන්න ආස අය
මෙතන බලන්න )නමුත් තරහ කාලයක් යනකොට යාලු කමක්, සහජීවනයක්, සහයෝගයක් බවට පත් වුනේ නොදැනුවත්වම :)

ඒ මිතු දම් හරහා ලැබුණු ශක්තිය, වීරිය එක්ක පටන් ගත්තු මේ බ්ලොග් සටහනේ අකුරු හැර කිසිම දෙයක් මගේ නෙවෙයි.නම අපේ බින්කුගේ නිර්මාණයක්,ඇඳුම ගොඩක් අයගේ අවශ්‍යතා සහ ඉල්ලීම් ගැන හිතලා මහපු සරල එකක්, ලිපි ප්‍රවීණ බ්ලොග්කරුවන්ගේ ලිපි කියවලා ඉගෙන ගත්ත දේවල් සහ ප්‍රතිචාර වලින් ලැබුනු අදහස් සමඟ ලියැවුනු අනං මනං.

බ්ලොග් සටහන මේ තත්වයට ගේන්න උදව් උපකාර කරපු හැමෝටම උපහාරයක් විදියට පහුගිය දවසක රාජකීය විද්‍යාලයේ පැවැති
අසෙනිය කුසුම 09 සාහිත්‍ය උළෙලේදී අනං මනං ලෝකයට හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය හිමි සම්මානය ලැබුණා.


සම්මානය ගන්න මම ගියාට ඒ ඔබ සැම නියෝජනය කරන්න විතරයි.එහිදී ගත් ඡායාරූප කිහිපයක් මූණු පොතේ මිතුරු පිටුවේදී සහ මලින්තගේ මූණූ පොතෙන් නරඹන්න පුලුවන්.

තොරතෝංචියක් නැතිව කියවපුවා අහගෙන ඉදලා දැන් කට්ටියට කම්මැලිත් ඇති. ගොඩ දවසකින් ලියන්න උනේ නැති නිසා පොඩි පොඩි කතා එකතු වෙලා පෝස්ට් එක මාගලක් වගේ දිග වෙලා. අදට ඔය ඇති. ගිහින් එන්නම්.සැමට ජය

3 comments:

  1. මේක නං මහම මහ මඤ්ඤං ලෝකයක්.

    ඇත්ත ලෝකෙ එහෙම වුනාට, අඩුගානෙ සයිබර් ලෝකෙවත් "අපි අපිම වෙන්න" දරන උත්සාහයට වැදගත්.

    විකාර වුනු ඇත්ත ලෝකෙදි අපේ වැඩට අපිම ප්‍රශංසා කරගන්න එක අසම්මතයක් වුනාට, අපි අපිටම ප්‍රශංසා කරගනිමු. ඒක වැදගත්!

    ReplyDelete
  2. ඔය වගේ ජරා වැඩ කරන පිරිමි ඕන තරම් ඉන්නව, මම ඒ වගේ අයට විරුද්ධව බස් වල වලිත් දාගෙන තියෙනව, සමහරක් අය ඔහොම තමයි

    ReplyDelete
  3. oya kalakanni hetha nisa apith charter wenawa

    ReplyDelete