Monday, July 13, 2009

එම්බෙඩ් කරන්නේ වීඩියෝ විතරමද?

සුභ දවසක් වේවා අය්යලා, අක්කලා, නංගිලා, මල්ලිලා, මාමලා, නැන්දලා හැමෝටම. මේ දවස් වල අපිට නිවාඩු වුනත් එක එක වැඩ යෙදුන නිසා බ්ලොග් ලිවිල්ල පොඩ්ඩක් විතර අතපසු වුනා. එක එක වැඩ කියන්නේ උපන් දින උත්සව, පාසලේ ආදි ශිෂ්‍ය නායිකා සංගමයේ වැඩ, අත පසු වුන පැවරුම්, විවිධාකාර ගමන් වගේ දේවල් තමා.ඔය අස්සේ හිතට මහා අප්සැට් එකක් ඇවිත්. හේතුව මට වත් හිතා ගන්න බෑ.

ඔය නිසා නිසා පහුගිය දවස් වල බ්ලොග් වලට කමෙන්ට් එකක් වත් දාන්න බැරිවීම ගැන සහෝදර බ්ලොග්කරුවන් ගෙන් සමාව ඉල්ලනවා.

අළුත්ම ප්‍රවෘත්තිය තමා ගාල්ලේ හොඳ හැටි රවුමක් ගහන්න එළකිරි චාන්ස් එකක් ලැබීම. ඉතින් ළමයිනේ, ඔය ගාල්ල කියන්නේ නුවර හැරුනු කොට මම ආසම නගරයක්. එක පාරක් අපි හතර දෙනා(අම්මායි, තාත්තයි, මල්ලියි, මායි )ගාලු කොටුවේ ඇවිදින්න ගියා හවස් යාමේ. ගාලු කොටුවට ගිහින් තියන අයට නම් මතක ඇතිනේ, සමහර තැන් වලින් නිකන් බැල්කනියක් වගේ තියනවා මුහුද පැත්තට. එදා ඉතින් ඔය තැනකින් මුහුද බලන්න ආසවෙන් හිටියත් බැරි උනා. ඇතුලට යන කොටම කුඩයක්!! මේපාර නම් ඔය නස්පැත්තිය සිද්ධ නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා.

මගේ අනං මනං ඔය ඇති. නැත්තං හැමෝටම වැදගත් වෙන අනං මනං ලියනවා කියල දීපු පොරොන්දුව කඩ වෙනවා.

අද කියන්න යන්නේ නම් පොඩිම පොඩි දෙයක් ගැන, පොඩි එම්බෙඩ් කිරිල්ලක් කිව්වොත් වැඩේ හරි. කට්ටිය ඉතින්, වෙබ් පිටු වලට වීඩියෝ, ගේම්ස් වගේ එක එක දේවල් එම්බෙඩ් කරනවානේ. ඔය සංකල්පය ඇත්ත ජීවිතේට ගෙනාවොත් කොහොමද?


මේක ඇවිල්ලා ලක්ස් එම්බෙඩෙඩ් ඉන් ටු කොහොඹ. වාසි තමා සබන් අපතේ යන එක 100% අඩු කරගන්න පුලුවන් වීම සහ කඩේ නැති සබන් ජාති හදාගන්න පුලුවන් වීම. කරන්න තියෙන්නේ පොඩි වැඩක්. පාවිච්චි කරන සබන් කෑල්ල පොත්තක් වගේ වේගෙන එනකොට අළුත් සබන් කෑල්ලයි, පරණ එකයි හොඳට තද කරල අල්ල ගෙන
පාවිචිචි කරන්න. දෙපාරක් විතර එහෙම කරන කොට මගේ සබන් කෑල්ල වගේ නවතම සබන් කැටයක් ඔයාලටත් ලැබෙයි.ඔන්න මීට පස්සේ පොඩි පොඩි සබන් කෑලි කාණුව දිගේ යවනවා නෙවෙයි හරිද?

අර පිරිමැස්ම හොඳම මැස්ම කිව්වලු.

නැවත හමුවන තුරු happy සබන් එම්බෙඩ් !