Friday, July 1, 2011

[ රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - දෙවන අදියර ] දැන් අපි යන්න හදන්නේ සම්මුඛ පරීක්ෂණයට



මේ කතා මාලාවේ  කලින් පළවුණු ලිපිය කියවපු අයට අදහසක් ඇති කොහොමද රැකියාවක් සඳහා අවශ්‍ය වෙන ජීව දත්ත සටහනක් හදා ගන්නේ කියලා. ලිපිය බලපු නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න.
අද අපි කතා කරන්න යන්නේ රැකියාවක් සොයා යන ගමනේදී අපිට ආයතනයේ අයව කෙලින්ම මුණ ගැහෙන අවස්ථාව, එහෙම නැත්තම්

 සම්මුඛ පරීක්ෂණය ගැන.  ඉතින් පළවෙනියටම හම්බෙන කෙනාට තමන් ගැන හොඳ අදහසක් හිතේ මැවෙන විදියට හැසිරීම, කතාකිරීම, සහ තමා රස්සාවට සුදුසු බව ඔවුන්ට ඔප්පු කිරීම තමා මේ අවස්ථාවේ අපිට කරන්න තියන දේවල් ටික.


සමහර වෙලාවට ආයතනයෙන් කියන වෙලාවට අපට සම්මුඛ පරීක්ෂණයට යන්න බැරි වෙන අවස්ථාවන් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට හැකි ඉක්මනින් ආයතනයට ඒ පිළිබඳව දැනුම් දීමක් කරන්න. ඔවුන් අනිවාර්යෙන්ම ඔබ ගැන පැහැදීමක් ඇති කර ගනීවි. වෙලාව ගැන ගැටළුවක් නැත්නම් ඔන්න අපි දැන් පිටත් වෙන්න හදන්නේ සම්මුඛ පරීක්ෂණයට.


Love at first sight  තියරිය දන්නවනේ. දකින පලවෙනි පාරම ආදරේ හිතෙනවා කියන්නේ ඕකටම තමා . එහෙම ආදරේ හිතෙන්න නම් ලස්සනට අදින්න ඕනේ, හැසිරෙන්න ඕනේ. සම්මුඛ පරීක්ෂණයත් එහෙමයි. අඳින ඇඳුම ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන්. ඕනෙම තැනකට ගෑණු ළමයෙකුට අදින්න පුළුවන් ඇදුමක් තමා සාරිය. දිග කලිසම් සහ බ්ලවුස් අදින්නත් පුළුවන්, තව කෙටි සායක් සහ බ්ලවුස් එකකුත් සුදුසුයි ගෑණු ළමයෙකුට. ඒත් ඒවා අඳිනකොට තමාගේ සීමාව දැනගෙන ඉන්න එක අනිවාර්යයි. පිරිමි ළමයෙක් නම් අත් දිග කමිසය, දිග කලිසම, සහ සපත්තු ඕනෙම තැනකට සුදුසුයි. ඔය මොකක් ඇන්දත් පිරිසිදුවට, පිළිවෙලට යන්න මතක තියාගන්න. පිළිවෙල කියන්නේ ලිප්ස්ටික් ගොඩක් ගාගෙන කොණ්ඩය පොඩ්ඩක් වත් හෙලවෙන්නේ නැති විදියට ජෙල් ගාලා හදාගෙන යන එකත් නෙවේ. චාම් ඇඳුමක් වගේම වැදගත් පෙනුමක් තියෙන්න අඳින ඒක වැදගත්. ලා පාටක් අඳින එක වඩාත් සුදුසුයි කියලා මට නම් හිතෙන්නේ. ආභරණ පළඳිනවා නම් ප්‍රමාණයෙන් කුඩා, ඇඳුමට ගැලපෙන ආභරණ භාවිතා කරන්න.






සමහර වෙලාවට සම්මුඛ පරීක්ෂණ වලට ගියාම එතනට ඇවිල්ලා ඉන්න අනික් අය ඇදගෙන ඉන්න විදිය දැක්කම ඔබට හිතෙන්න පුළුවන් "මෙතැනින්ම මම ඉවරයි " කියලා. ඒ විදිය අදහස් නම් කවදාවත් ඇති කරගන්න එපා. පිට පොත්ත ලස්සනට තිබ්බට ඇතුළ කොහොමද කියලා අපි දන්නේ නැහැනේ. මම තමා මෙතන ඉන්න හොඳම කෙනා කියන අදහස ඔළුවට ඔබාගන්න පුළුවන් නම් ඔබ සම්මුඛ පරීක්ෂණයෙන් සියයට 50 ක් දැනටමත් සමත්.


ඔන්න දැන් ඔක්කොම සහතික, සම්මාන අරගෙන ලස්සනට ඇදගෙන නියමිත තැනට අඩුම ගානේ විනාඩි 15 කටවත් කලින් ආවා කියමුකෝ. ඊට පස්සේ ඔළුවට එන්නේ "දැන් මොනවා අහයිද " කියන ප්‍රශ්නේ. ගොඩක් අය මෙතෙන්දි තමන් එක්ක සම්මුඛ පරීක්ෂණයට ආපු අනික් අයගෙන් මේ ප්‍රශ්නේ ගැන කතා කරනවා.


එකේ දෙපැත්තක් මම දකිනවා. එකක් තමා සම්මුඛ පරීක්ෂණයට සහභාගී  වෙන්න පෙර සුදානමක් වගේ වෙනවා. අනික් පැත්ත තමා, එහෙම ප්‍රශ්න අහන එකෙන් අනික් කෙනාට ඔහුගේ මානසික සමබරතාව පවත්වා ගන්න අමාරු වෙන්න පුළුවන්. විභාගෙට විනාඩියකට කලින් විකාර ප්‍රශ්නයක් ඇහුවම පාඩම් කරපුවා ඔක්කොම අමතක වෙනවා නේද සමහරුන්ට? අන්න ඒ වගේ දෙයක් වෙන්න ඉඩ කඩ ගොඩක් තියනවා ඔය වගේ වෙලාවකට. අනික හැම දෙනාම එන්නේ කොහොම හරි රස්සාව ගන්න බලාගෙන. (මේ ගැන හොඳට බලාගන්න පුළුවන් බයිස්කෝප් එකක් මම බැලුවා ළඟදී. කැමති අය මෙතනින් ගිහින් බලන්න.)ඒක නිසා හිතලම අනික් අයදුම්කරුවන්ගේ ඔළුව අවුල් කරන අයත් ඉන්න පුළුවන්. ඒක නිසා පරිස්සමින්. අනිත් අය එක්ක කතා කරනවා නම් සැළකිලිමත් වෙන්න. 


ඔය අතරේ සමහරු ඉන්න පුළුවන් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා එලියට ආපු අය. අපේ තියන පුරුද්දක් තමයි එයාලාගෙන් අහන ඒක මොනවද අහන ප්‍රශ්න කියලා. මගේ අදහස නම ඒක වැඩකට නැති වැඩක්. එකම ප්‍රශ්නේ දෙන්නෙක් ගෙන් අහන්න පුළුවන්, ඒ වගේම හැම අයදුම් කරුවාටම එකිනෙකට වෙනස් ප්‍රශ්න ලැබෙන්නත් පුළුවන්. 


අනිත් දේ තමා එහෙම අනික් අයගෙන් ප්‍රශ්න සහ උත්තර දෙකම අහගෙන සම්මුඛ පරීක්ෂණයට එන අයව අදුනාගන්න ඒක හරිම ලේසියි. එහෙම අය ගොඩක් වෙලාවට එකම උත්තරේ දෙන්නේ. ඒ දීපු උත්තරේ පදනම් කරගෙන තව ප්‍රශ්නයක් ඇහුවොත් එයාලා හිර වෙනවා. සමහරු තමන් බලාපොරොත්තු වෙලා ආපු ප්‍රශ්නයක් අහනකොට "දෙන්නම් බැටේ " වගේ හිනාවක්‌ යන වෙලාවල් තියනවා. දක්ෂ කෙනෙක් නම් ඔය වගේ දේවල් බොහොම ඉක්මනට හොයා ගන්න පුළුවන්.


ඔහොම අනික් අයගෙන් ප්‍රශ්න අහන්න ගියාම වෙන්නේ තමන් තවත් කලබලයට පත් වෙන එක විතරයි. ඒක නිසා සැහැල්ලුවෙන් තමන්ගේ වාරය එනකන් ඉන්න. කැමති නම් තේ එකක් බීලා එන්න. සින්දුවක් අහන්න අනික් අයට කරදරයක් නොවන විදියට. 


මීළඟ ලිපියෙන් කතා කරමු සම්මුඛ පරීක්ෂණය වෙලාවට කරන්න ඕනේ දේවල්.  සැමට ජය.


මීළඟ ලිපිය : [ රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - තෙවන අදියර ] - සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම

2 comments: